May 28, 2026

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙගාවොට් 160ක සමස්ත ධාරිතාවයෙන් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 20ක ධාරිතාවකට අදාළ උපාංග මෙරටට ආනයනය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මෙය ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය වේ.

රුපියල් බිලියන 40ක දැවැන්ත ආයෝජනයකින් යුතුව මෙම ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගනිමින් වඩාත් ස්ථාවර, කාර්යක්ෂම සහ නවීන විදුලිබල පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි ප්‍රධාන උපපොළවල් අසල මෙම බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය.

ඒ අනුව ගාල්ල සහ මාතර උපපොළවල් මෙහි සම්බන්ධක මධ්‍යස්ථාන ලෙස මුලින්ම ක්‍රියාත්මක වනු ඇත.

මෙම තාක්ෂණය මඟින් දිවා කාලයේදී සූර්ය බලශක්තියෙන් උත්පාදනය වන අතිරික්ත විදුලිය ගබඩා කර තබාගෙන, රාත්‍රී කාලයේදී පවතින ඉහළ විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා භාවිත කිරීමට හැකියාව ලැබෙයි.

එමඟින් පොසිල ඉන්ධන භාවිතය අවම කරගැනීමට මෙන්ම ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමට ද අපේක්ෂා කෙරේ.

දැනට පවතින දත්තවලට අනුව, රටේ සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 9.4ක පමණ ප්‍රමාණයක් සපුරාලන්නේ සූර්ය බලශක්ති පද්ධති මඟිනි.

මෙම බැටරි ගබඩා පද්ධති හඳුන්වා දීමත් සමඟ එම දායකත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි නිලධාරීහු විශ්වාසය පළ කරති.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ව්‍යාපෘතියේ ඉතිරි මෙගාවොට් 140ක ධාරිතාවට අදාළ බැටරි පද්ධති උපාංග ඉදිරි සතිය ඇතුළත දිවයිනට ළඟා වීමට නියමිත බවයි.