November 4, 2026

බේරුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරියක් නිවසේ සිට සේවයට වාර්තා කිරීම සඳහා යතුරුපැදියෙන් එමින් සිටියදී යතුරුපැදියකින් මග හරස් කළ දෙදෙනකු ඇය පැළඳ සිටි රන් මාලයේ වූ පෙන්ඩනය කඩාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බේරුවල, කාලවිලවත්ත, මංහන්දිය පදිංචි කාන්තා පොලිස් කොස්තාපල් කාලවිල පතිරගේ සමාධි දිළිණි මහේෂිකා ලක්ෂ්මී (අවු. 39) යන අය විසින් කරන ලද පැමිණිල්ලට අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

“මම පෙරේදා (02 දා) වැඩ කටයුතු අවසන් කර 5.20ට පමණ නිවසින් පිටත් වී සේවයට වාර්තා කිරීම සඳහා එමින් සිටියා. වලතර හෙරලත්තුඩුව පාලම අසලදී පිටුපසින් ආ යතුරුපැදියක් මග හරස් කර නැවැත්තුවා. එහි පිටුපස අසුනේ සිටි අය බැස හිස් වැසුම ගලවා “මම පොලිසියෙන්” කියා කිව්වා. එවිට “මමත් පොලිසියේ” කියා මමත් කිව්වා. ඔහු මගේ අතින් හා බෙල්ලෙන් අල්ලා ගත්තා. එවිට තවත් යතුරුපැදියක් එනවා ඇසී ඔවුන් කිරන්තිඩිය දෙසට පළාගියා. පසුව බලන විට ඔහු මාලයේ වූ පෙන්ඩනය කඩාගෙන ගොස් තිබුණා” යැයි ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ආර්. නවරත්නගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
(දිවයින)