November 4, 2026

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඇති කරගත් එකඟතාවයකට අනුව, මෙම වසර අවසානයේදී ඊශ්‍රායලයට ලබාදෙන මූල්‍ය ආධාර නතර කිරීමට අමෙරිකාව පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කළේ, අමෙරිකාව විසින් වසරකට ඊශ්‍රායලයට ලබාදෙන ඩොලර් බිලියන 4 ක මුදල නතර කිරීම සඳහා වන ගිවිසුමකට මාස කිහිපයකට පෙර එළඹි බවයි.

“මේ වසර අවසාන වන විට අපි ඊශ්‍රායලයට මුදල් ගෙවීම නතර කරන බවට දැනටමත් එකඟ වී තිබෙනවා. නමුත් ඉදිරියේදී ඔවුන්ට යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් අපි ඊශ්‍රායලයට උපකාර කරනවා,” යැයි ට්‍රම්ප් එහිදී පැවසීය.

කෙසේවෙතත්, ජනාධිපතිවරයා මෙලෙස සඳහන් කළේ කුමන මුදල් ප්‍රතිපාදන පිළිබඳවද යන්න පැහැදිලි නැත. ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.8 ක හමුදා ආධාර ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය 2028 වසර අවසානයේදී අවසන් වීමට නියමිතව තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සඳහා බීබීසී පුවත් සේවය ධවල මන්දිරය අමතා ඇති අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය මෙතෙක් ඒ පිළිබඳව කිසිදු අදහස් දැක්වීමක් සිදු කර නොමැත.

ෆොක්ස් නිව්ස් නාලිකාව හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ ට්‍රම්ප් කියා සිටියේ, ඊශ්‍රායලයට තවදුරටත් අමෙරිකානු මූල්‍ය ආධාර අවශ්‍ය නොවන බවයි.