March 24, 2024

පසුගියදා වැඩිකරන ලද වැටුප් සංශෝධන යළි සළකා බැලීමට ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ වෘත්තිකයන් බහුතරයක් සාමූහික තීරණයක් ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව විසින් කරන ලද නිර්දේශවලට පෙර සහ ස්වාධීනව ගනුලැබූ මෙම තීරණය මාර්තු 16 වැනි දින එම කාරක සභාවට දැනුම් දුන් බව ද එහි සඳහන් වේ.

2024-2026 කාලසීමාව සඳහා වූ වැටුප් සංශෝධනයෙන් පසුව බොහෝදෙනාගේ හෙළා දැකීමට සහ මහජනතාව අතර බොහෝ කතිකාවන්ට ලක්වීමෙන් පසු වැටුප් වැඩිවීම අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව පැවසීය.

මේ අතරතුර රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභා සභාපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීමේ සාමූහික ගිවිසුම ස්වාධීන කමිටුවක් මගින් සමාලෝචනය කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සියලුම සේවක කාණ්ඩ හරහා සංශෝධන සිදු කරනු ලබන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

දේශීය මිල ස්ථායිතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යෑම සහ රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වගකීම දරනු ලැබේ.

මෙම තීරණාත්මක වගකීම සාක්ෂාත් කර ගැනීම සඳහා, ශ්‍රී ලංකා මහ බැංකුව බොහෝ පළපුරුදු සහ වෘත්තීය කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇති අතර, පළපුරුදු කාර්ය මණ්ඩලය රඳවා තබා ගැනීමේ අරමුණින් මෑත කාලීන වැටුප් සංශෝධනය සිදු කරන ලද බවත් එම නිවේදනයේ සඳහන් වේ.