April 8, 2026

ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය ගත් තීරණයට ඊශ්‍රායලය සහය දක්වන බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනය කර ඇත.

කෙසේවෙතත්, මෙම සටන් විරාමය ලෙබනනයට අදාළ නොවන බව එම කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් නෙතන්යාහු කියාසිටියේ, ඇමරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයේ අරාබි අසල්වැසියන්ට සහ ලෝකයට ඉරානයෙන් එල්ල වන න්‍යෂ්ටික, මිසයිල සහ ත්‍රස්තවාදී තර්ජන තවදුරටත් එල්ල නොවන බව සහතික කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහයට ඊශ්‍රායලයේ සහාය හිමිවන බවයි.

එළඹෙන සිකුරාදා පාකිස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවලදී මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට ඇමරිකාව කැපවී සිටින බවට තමන්ට දන්වා ඇති බවද ඔහු පැවසීය.

එහෙත් සති දෙකක මෙම සටන්විරාමයට ලෙබනනය ඇතුළත් නොවන බව ඔහු අවධාරණය කළේය.

නෙතන්යාහු මෙම ප්‍රකාශය කළේ, ලෙබනනය ඇතුළු සෑම තැනකම වහාම ක්‍රියාත්මක වන පරිදි සටන්විරාමයකට ඇමරිකාව, ඉරානය සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වයන් එකඟ වී ඇති බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කළ නිවේදනයෙන් පසුවය.

මෙම තීරණය වහාම ක්‍රියාත්මක වන බව ෂරීෆ් පැවසීය.

පෙබරවාරි 28 වැනි දින යුද්ධයේ පළමු දිනයේදී ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට සහ 2024 නොවැම්බරයේ එකඟ වූ සටන්විරාමය ඊශ්‍රායලය විසින් දිනපතා උල්ලංඝනය කිරීමට එරෙහිව හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, මාර්තු 2 වැනි දින ලෙබනනය ද මෙම යුද්ධයට ඇදීගියේය.