October 7, 2026

ජනමාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් වරදකරු කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට පනවන ලද මාස නවයක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් තහවුරු කර ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (07) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2025 ජනවාරි 01 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඥානසාර භික්ෂුවට මාස නවයක සිරදඬුවමක් සහ රුපියල් 1,500 ක දඩයක් නියම කරන ලදී.

එම දඬුවමට එරෙහිව පූජ්‍ය ඥානසාර භික්ෂුව විසින් කොළඹ මහාධිකරණය වෙත ඇපැල් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

අද දින විවෘත අධිකරණයේදී මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විත්තිකාර භික්ෂුව විසින් ඉදිරිපත් කරන ලද භික්ෂුව පෙත්සමය මහාධිකරණය විසින් නිශ්ප්‍රභ කර ඇති අතර, පනවන ලද දඬුවම තහවුරු කර ඇති බවයි. ඒ අනුව අදාළ දඬුවම් නියෝගය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

අනතුරුව, පූජ්‍ය ඥානසාර භික්ෂුව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ අධිකරණයට දැනුම්දුන්නේ මහාධිකරණ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනුකර ඇති බවයි.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බලන තෙක් නඩුව කැඳවීම සඳහා දිනයක් නියම කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අතිරේක මහේස්ත්‍රාත්වරයා නඩුව පෙබරවාරි 25 වන දින නැවත කැඳවීමට නියෝග කළ අතර, එදිනට විත්තිකාර භික්ෂුව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් මෙම නඩුවට අදාළව ඥානසාර භික්ෂුවට එරෙහිව මීට පෙර වරෙන්තුවක් ද නිකුත් කර තිබිණි.