May 12, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන නිදහස් කර ගැනීම සඳහා ඇපකරුවන් සංවිධාන කළ බවට චෝදනා එල්ල වූ තැරැව්කරුවකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ පදිංචි 74 හැවිරිදි අයෙකු බවත් ඔහු සැළකිව යුතු කාලයක් ඒ හා සමාන ක්‍රියාකාරකම්වල නියැලී ඇති බවත් පොලිසිය පවසයි.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කළ කපිල චන්ද්‍රසේනට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව එල්ල විය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

මැයි 5 වැනිදා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය චන්ද්‍රසේනට දැඩි කොන්දේසි යටතේ ඇප ලබා දුන් අතර, රුපියල් 500,000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ පුද්ගලික ඇප තුනක් මත ඔහු මුදා හැරියේය.

ඔහු ඇප මත මුදා හැරීමෙන් පසු සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වූයේ රුපියල් මිලියන 10ක ඇපකරුවන්ගෙන් දෙදෙනෙකු ඇපකරුවන් ලෙස කටයුතු කිරීමට එම පුද්ගලයන්ට රුපියල් 15,000 බැගින් ගෙවා ඇති බවයි.

ඒ අනුව එම ඇපකරුවන් ලෙස සිටි පුද්ගලයන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.