July 3, 2026

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි හරක් කටා නැමති සැකකරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ රකිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම සැකකරුවන් ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියෝග කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනූෂා සම්බන්ධප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් ”ස්වාමීනි…මේ සිද්ධිය සම්බන්ධයෙන් කොමිසම වැඩිදුර විමර්ශන සිදු කළා. මෙම සැකකරුවන් විසින් රුපියල් කෝටි දෙකක මුදලක් හරක් කටා නමැති සැකකරුගේ බිරිඳට ලබාදී තිබෙන්නේ නිර්මාණ බන්ඩාර හෙවත් හර්බි නමැති අයගේ මිත්‍රයෙකු වන ලසන්ත මංජුල ද සිල්වා නමැත්තෙකු මාර්ගයෙන්. පසුව එම මුදල් මිදිගම ලසා විසින් ඇයට ලබා දී තිබෙනවා. නුගේගොඩ, නාවල පාරේ, විජයබා මාවතේ පිහිටි ස්ථානයකදී තමයි මේ මුදල් ලබාදීම සිදුකර තිබෙන්නේ. එම ස්ථානයේ තමයි දෙවන සැකකාර රඛිත රාජපක්ෂගේ පියාගේ නිවස පිහිටා තිබෙන්නේ. වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වුණා මේ ස්ථානයේ දී තමයි මේ මුදල් ලබාදීම සිදුවෙලා තිබෙන්නේ කියලා” යනුවෙන් කියා සිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරිය” මෙම සැකකරුවන් තුන්දෙනා හරක් කටා නමැත්තාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නමැත්තියගෙන් මුදල් ලබා ගැනීම සඳහා ඩුබායි රාජ්‍යයට මෙරටින් පිටත්ව ගොස් තිබෙන්නේ 2023 වසරේ මාර්තු 25 වනදා. ඔවුන් යලි ශ්‍රි ලංකාවට පැමිණ තිබෙන්නේ 2023 වසරේ මාර්තු මස 29 වනදා. එම අවස්ථාව වනවිට දෙවන සැකකරු වූ රඛිත රාජපක්ෂගේ පියා ඩුබායි රාජ්‍යයේ රැදී සිටි ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් තිබෙන්නේ 2023 වසරේ මාර්තු මස 21 වනදා. එම නිසා මෙම දෙවන සැකකරුගේ පියා ඩුබායි රාජ්‍යයට ගියේ කුමන අවශ්‍යතාවයක් සදහා ද? ඔහු හමුවී තිබෙන තැනැත්තන් සහ ඔහු මෙම අපරාධයට සම්බන්ධ වී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරනවා. ” යනුවෙන් සඳහන් කළා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරිය” ස්වාමීනි..මේ සිද්ධිය සම්බන්ධයෙන් සයිබර් නිවුස් එල් කේ නමැති පිටුවේ වාර්තාවන් පලකර තිබෙනවා. පසුව එය පලකළ අනූප එරංජිත් රාජපක්ෂ නමැත්තාගේ නිවස ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කරලා මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් පසුව අසභ්‍ය දර්ශන සහිත ද්‍රෘඩ තැටියක් ලග තබාගැනීම සහ රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම සම්බන්ධයෙන් ඔහුට නඩු පවරා පසුව නිදහස් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා මූලික අයිතිවාසිකම් පෙත්සමක් සහ වන්දි ඉල්ලා නඩු පවරා තිබෙනවා. ” යනුවෙන් පැවසුවාය.

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වැඩි දුරටත් කරුණු දක්වමින්” සැකකරුවන් විසින් මෙලෙස අල්ලස් වශයෙන් ලබාගත් මුදල් රැගෙන ආ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙම මුදල් උන්ඩියල් ක්‍රමයට රැගෙන විත් තිබෙන බවට මුල් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන්ගේ ජංගම දුරකථන විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා. ඒ හරහා මොවුන් හුවමාරු කරගෙන තිබෙන වට්ස්ඇප් ඇමතුම්, ඇතුළු දුරකථන ඇමතුම් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා. ඊට අමතරව මොවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධයකින් උත්පාදිත වත්කම් පිලිබඳ පනත යටතේ විමර්ශන සිදු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ඊට අමතරව හරක් කටා නමැති සැකකරු මැඩගස්කරයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියදී එහි ඇතැම් නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරනවා” යනුවෙන් සඳහන් කළාය.

ඉන් අනතුරුව සැකකාර චරිත් අබේසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක වීරසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්” මේ සැකකරුවන් කෝටි දෙකක මුදලක් ලබාදුන් බවට අල්ලස් කොමිසම කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. මෙවැනි කරුණු සැලකිල්ලට භාජනය විය යුත්තේ නඩු විභාගයකදී. මේ අවස්ථාවේදී අප කරුණු ඉදිරිපත් කරන්නේ ඇප සම්බන්ධයෙන්. අල්ලස් කොමිසම මේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනනේ මේ වනවිට රැදවුම් භාරයේ සිටින ප්‍රබල අපරාධකරුවන් බව කියන හරක් කටා සහ මිදිගම රුවන් යන පුද්ගලයින්ගේ ප්‍රකාශ මතයි. ඔවුන් ප්‍රකාශ කර තිබෙන කරුණු වල සත්‍ය අසත්‍යතාව තීරණය වන්නේ නඩූ විභාගයකදී. මේ අවස්ථාවේදී නෙවෙයි. මේ සැකකරුට තුන් නිවුන් දරුවන් සිටිනවා. ඔහු වාහන ලබාගෙන සිටින්නේ ලීසිං ක්‍රමයටයි. ඉතා අමාරුවෙන් තමයි ඒවා ගෙවාගෙන යන්නේ” යනූවෙන් සදහන් කළ නීතිඥවරයා සිය සේවා දායකයා ඇප මත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව සැකකාර රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින්” ස්වාමීනි… අල්ලස් කොමිසම විසින් පවසන ආකාරයට මෙම වරද සිදුවී තිබෙන්නේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙරයි.එසේ නම් මෙම සැකකරුවන් නඩුව අවසන් වනතෙක් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස දන්වා සහතිකයක් ඉදිරිපත් කිරිමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට බලයක් ලැබෙන්නේ නැහැ. එසේ සහතිකයක් ඉදිරිපත් කර තිබේ නම් එය නීතියට පටහැණියි. ඒ නිසා ඇප දීමට තිබෙන මහේස්ත්‍රාත්වරයාට තිබෙන බලය සීමාවීමක් සිදුවන්නේ නෑ. අපි උත්සාහ කරන්නේ ඔබතුමාගේ බලය ආරක්ෂා කරන්නයි. ඔබ තුමාට ඇප දෙන්න පුළුවන්. ඔබ තුමා ඇප දෙයි කියලා අපි හිතනවා. මේ සැකකරු රටින් පැනලා යන්නේ නෑ. සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නෙත් නෑ. දැන් ඉතිරිවෙලා තියෙන්නේ තාක්ෂණය සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමටයි. ඒවාට බලපෑම් කිරීමට ඔහුට හැකියාවක් නෑ” යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සිය සේවා දායකයාට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉන්පසුව තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත් කරුණාරත්න ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිය සේවා දායකයා ඇමැති මත මුදාහැර හරින ලෙසයි.

ඉන් අනතුරුව සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා ” මෙම සැකකරුවන්ට එරෙහිව දූෂණ විරෝධී පනතේ එකසිය 149 (1) වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඉදිරිපත් කර තිබෙන සහතිකය නීතියට පටහැනි බවට විත්තිය විසින් තර්කයක් ඉදිරිපත් කළා. එම ස්ථාවරය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනවා. එම සහතිකයේ වලංගුභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවට මතයක් ඉදිරිපත් වුණා. එහෙත් එම සහතිකයේ වලංගුභාවය පිළිබඳව මෙම අධිකරණය දැනටමත් තීන්දු ලබාදීලා තිබෙනවා. සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ සහතිකය යටතේ අධිකරණයට බලය නැති නිසා නොවෙයි. සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවීම නිසයි විමසාතික යටතේ මෙම සැකකරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් අධිකරණය එසේ කරන්නේ නැහැ. සුවිශේෂී කරුණු මතුවන අවස්ථාවක ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ හැකියි. එය ලිඛිතව කරනවා නම් අධිකරණයට පහසුයි. ඊට අමතරව මේ නියෝගය සම්බන්ධයෙන් අතෘප්තියට පත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට යාමට හැකියාව තිබෙනවා.”

ඒ අනුව මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණු ඉදිරිපත් කිරීමට සැකකරුවන් අපොහොසත් වීම නිසා ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව සැකකරුවන් තුන්දෙනා ලබන 17 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.