June 20, 2026

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක අබිරහස් අන්දමින් මියගොස් සිටි අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටින ඇගේ පෙම්වතා බව කියන තරුණයා රට පුරා තරුණියන් රැසක් රවටා විවාහ පොරොන්දු දී මුදල් වංචා කළ විවාහක තිදරු පියකු බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

මොහුට එරෙහිව පොලිසි කීපයකට පැමිණිලි ලැබී තිබෙන බව ද පොලිසිය පවසයි.

මෙම සැකකරු භෞතචිකිත්සකවරිය රවටා ඇයට ද විවාහ පොරොන්දු දී කැනඩාවේ පදිංචියට යෑමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට යැයි කියමින් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් ඇයගෙන් ද ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.

මෙම මුදල් භෞතචිකිස්සකවරිය විසින් බැංකු රැසකින් සහ තම හිතවතුන්ගෙන් ණයට ලබාගෙන ඇති අතර ඒ සියල්ල පෙම්වතා යැයි කියාගත් සැකකරුට ලබාදී ඇත්තේ කැනඩාවේ පදිංචියට යෑමට සිහින මවමින්ය.

එහෙත් සැකකරු එම මුදල් ලබාගෙන රිසි සේ ඒවා වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇත.

කැනඩා සිහිනය බොඳවීමෙන් පසු දැඩි චිත්ත පීඩාවට ලක්වී ඇති භෞතචිකිස්සකවරිය තමන් ලබාගත් ණය මුදල් ගෙවාගත නොහැකිව සිය ජීවිතයට හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම භෞතචිකිස්සකවරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යවී සිටින ඇගේ පෙම්වතා යැයි කියා ගත් තරුණයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර පොලිස් කණ්ඩායම් 3ක් ඔහු සොයා විමර්ශන පවත්වා ගෙන යයි.

මම සැකකරු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක් ද පොලිසිය විසින් මේ වනවිට ලබා ගෙන ඇත.

විමර්ශන වලින් හෙළිවී ඇති අන්දමට සාමා නමැති 33 හැවිරිදි කෞතචිකිස්සකවරිය මෙම සැකකරු දැන හඳුනාගෙන ඇත්තේ මීට මාස 08කට පමණ උඩදීය.

සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිට ඇත.

ශ්‍යාමාට විවාහ පොරොන්දු ලබාදී ඇය සමග ඉතා සමිප ඇසුරක් පවත්වා ඇති මොහු ඇයට කැනඩාවේ පදිංචියට යෑමට ඇරයුම් කර ඇත.

විවාහ විමෙන් පසු කැනඩාවේ පදිංචියට යෑමට සැලසුම් කර ඇති බව පවසමින් සැකකරු ශ්‍යාමාගෙන් වරින් වර මුදල් ලබා ගෙන තිබේ.

ශ්‍යාම් ද කැනඩා යෑමට සිහින මවමින් බැංකු රැසකින් සහ තම හිතවතුන්ගෙන් ඉල්ලා ගත් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වරින් වර ඔහුට ලබාදී ඇත.

කැනඩා සිහිනය දිනෙන් දින වියැකීම නිසා කෝපයට පත් ශ්‍යාමා මෙම සැකකරු සමග නිතර ආරවුල් ඇතිකර ගෙන තිබේ.

ඉකුත් 03 වැනිදා සැකකරු ශ්‍යාමා ද රැගෙන නුවරඑළියේ මහල් නිවාසයකට පැමිණ ඇත්තේ කැනඩා ගමනට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බව කියමින්ය.

ශ්‍යාමා මහල් නිවාසයේ නතර කළ සැකකරු ඉන් පිටව ගොස් ඇත. දින ගණනාවක් තිස්සේ ඇය එහි සිට ඇති අතර, මේ පිළිබඳ ඇය සිය දුරකථනයෙන් සොහොයුරාටද දැනුම් දී තිබේ.

සැකකාර පෙම්වතා තමාට වංචා කිරීම නිසා දැඩි ලෙස චිත්ත පීඩාවට පත්ව සිටි ශ්‍යාමා දින 4ක් තිස්සේ නිරාහාරව එහි සිට ඇත.

ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව දැඩි ලෙස අසහනයට පත්ව සිටි ඇය මේ පිළිබඳව සිය සොහොයුරුට පවසා ඇත.

ශ්‍යාමාගේ සොහොයුරු මේ පිළිබඳව දුරකථනයෙන් නුවරඑළිය පොලිසියට ද දැනුම්දීමක් කර තිබිණි.

මේ අතර ඉකුත් 16 වැනිදා සවස පෙම්වතා නුවරඑළියේ පිහිටි මහල් නිවාසය වෙත පැමිණ ශ්‍යාමා ඉන් රැගෙන ගොස් ඇත්තේ එහි කුලිය ද ගෙවාදැමීමෙන් අනතුරුවය.

පොලිසිය පවසන්නේ දින ගණනක් තිස්සේ නිරාහාරව සිටීම නිසා ශ්‍යාමාගේ ජීවිතයට අනතුරක් සිදුවන්නට ඇති බවයි.

එහෙත් ඇය මියගිය ආකාරය පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු හෙළිවී නොමැත.

සැකකාර පෙම්වතා මේ ආකාරයට රට පුරා තරුණියන් රවටා ඔවුන්ට විවාහ පොරොන්දු දී වංචනික ලෙස මුදල් ලබාගෙන ඇති බව මේ වනවිට හෙළිවී ඇත.

මෙම තරුණියගේ පෙම්වතා ලෙස සිටි බව කියන තරුණයා තට්ට හිසක් ඇති අයෙකු බවත්, ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රැවටීමට ක්‍රියාකර ඇති බවද කියනු ලැබේ.

තෙල්දෙණිය රෝහලට නුදුරු ස්ථානයක අතහැර දමා තිබූ මෝටර් රථයක තිබී ශ්‍යාමාගේ මළසිරුර පොලිසිය විසින් සොයාගෙන තිබුණේ ඉකුත් 17 වැනිදා සවස් කාලයේදීය.

(උපුටාගැනීම – දිවයින පුවත්පත)