May 5, 2026

කොළඹ-හොරණ මාර්ගයේ පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේදී යතුරුපැදියක් නවතා තිබූ කන්ටේනර් රථයක ගැටී එහි සිරවී ගිනි ගැනීමත් සමග, කන්ටේනර් රථ රියදුරු තැනට සුදුසු නුවණ පාවිච්චි කර කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර ගිනිගත් යතුරුපැදිය ලොරියෙන් ගලවාගැනීමට කටයුතු කිරීම නිසා රුපියල් කෝටි ගණනක රබර් ශීට් හානියක් වැළකී ගිය බව කහතුඩුව පොලිසිය කියයි.

යතුරුපැදිකරු පිළිස්සුම් තුවාල ලබා වෑතර දිසා රෝහලට ඇතුළත් කර ඇත.

කන්ටේනර් රථ රියදුරු රබර් ශීට් තොගයක් පටවාගෙන යමින් සිටියදී, තේ පානය සඳහා වෑතර ප්‍රදේශයේ හෝටලයක් අසල කන්ටේනර් රථය නවතා හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.

මද වේලාවකදී පිළියන්දල දෙස සිට පැමිණි යතුරුපැදිකරුවකු කන්ටේනරයේ පිටුපස ගැටි අනතුරට ලක්වී ඇති අතර යතුරුපැදිය එහි ඇමිනි ගිනිනීමට ලක්ව ඇත.

වහා එම ස්ථානයට පැමිණි පිරිස් යතුරුපැදිය අසල වැටී පිළිස්සුම් තුවාල ලබා සිටි පැදිකරු ඉවතට ගත්ත ද යතුරුපැදිය ඉවතට ගැනීමට නොහැකි වී ඇත්තේ යතුරුපැදියේ කන්ටේනර් රථයේ ඇමිණි ගිනිගනිමින් තිබීම නිසාවෙනි.

තේ පානය කරමින් සිටි රියදුරු මේ බව දැක වහා පැමිණ කන්ටේනර් රථය පණගන්වා ගිනි ජාලාවකින් වෙලී තිබූ යතුරුපැදිය සමඟ කන්ටේනර් රථය ඉදිරියට ධාවනය කර, රථය දකුණු පසට එකවරම හරවා යතුරුපැදිය මාර්ගයේ දකුණු පස මැද ගැට්ටේ ගැටීමට සැලසීම හේතුවෙන් යතුරුපැදිය කන්ටේනර් රථයෙන් ගැලවී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

එසේ නොවන්නට කන්ටේනර් රථය එහි තිබූ රුපියල් ලක්ෂ ගණනාවක රබර් ශීට් තොගය පමණක් නොව මෙන්ම අසල වෙළඳසැල් රැසක් ද ගින්නට බිලිවීමට ඉඩ තිබූූ බව ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත.(ලංකාදීප)