August 16, 2023

පාර්ලිමේන්තුවේ සම්මත වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම (DDR) සම්බන්ධ යෝජනාවට මැදිහත්වීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන පසුගියදා නිකුත් කළ තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

එම යෝජනාවට එරෙහිව අධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් ද යන්න පිළිබඳ තීන්දුවක් ලබාදෙන ලෙස ඇමැති හරීන් ප්‍රනාන්දු පසුගියදා කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා පසුගිය සතියේ ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුව විසින් නියමිත ක්‍රියාපටිපාටිය හරහා සම්මත කර ඇති යෝජනාවකට එරෙහිව කිසිදු ආකාරයක නියෝග හෝ තීන්දු නිකුත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවා ඇති කිසිදු අධිකරණයකට බලය නොමැති බවයි.

අධිකරණය විසින් කරනු ලබන එවැනි ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් සංශෝධිත 1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේ B කොටසේ පළමු අයිතමය උල්ලංඝනය කිරීමක් බව ඔහු පැවසීය.

මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව කිහිපයක විවේචන එල්ල වී ඇති අතර, අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන බව එම සංගමයේ සභාපති කෞෂල්‍ය නවරත්න ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

“මෙය විධායක කමිටුවේදී සාකච්ඡා කෙරෙන එක් කරුණක් වෙනවා. අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට යම් යම් බලතල සහ වරප්‍රසාද පවතිනවා. ඒක සත්‍යයකි, නමුත්, මෙම කාරණය සැළකිය යුතු වැදගත්කමක් ඇති දෙයක් නිසා, අපි මෙම කාරණය සාකච්ඡා කරනවා” යැයි සභාපතිවරයා පවසා ඇත.