November 22, 2026

වසර 23කට පෙර එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකිරීමේ චෝදනාවට ජූරි සභාව විසින් වරදකරුවන් කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනකුට අවිස්සාවේල්ල මහාධිකරණය පසුගිය සිකුරාදා මරණ දඬුවම නියම කළේය.

දින පහක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව ජූරි සභාවේ ඒකමතික තීරණය මත, මහාධිකරණ විනිසුරු සහන මාපා බණ්ඩාර විසින් ලියනගේ විසින් සුනිල් ශාන්ත සහ සිදම්බරන් සත්‍යශීලන් යන විත්තිකරුවන් දෙදෙනාට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබීය. මෙම නඩුවේ පළමු විත්තිකරු වූ එච්.එම්. ප්‍රසන්න විමල් නමැත්තා මීට පෙර මියගොස් තිබිණි.

මෙම අත්බෝම්බ ප්‍රහාරය 2003 වසරේ නොවැම්බර් 29 වැනිදා එල්ල වී තිබිණි.

නඩු විභාගය ආරම්භ වීමට පෙර පළමු විත්තිකරු මියගොස් සිටි බැවින් සෙසු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන ගිය අතර, ඔවුන් ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කරන ලෙස ඉල්ලා සිටියහ. ඒ අනුව හත් දෙනකුගෙන් යුත් ජූරි සභාව විසින් ඔවුන් අදාළ චෝදනාවලට වරදකරුවන් බවට තීන්දු කළේය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලට අනුව, යටියන්තොට ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකින් පසුව ඇහැලියගොඩ ප්‍රදේශයේ යෝගම වත්ත සහ බටන්ගල වත්ත යන ප්‍රදේශවල පිරිස් දෙකක් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව මෙම බෝම්බ ප්‍රහාරය සිදුව තිබේ. උත්සවයේ නර්තන වේදිකාවේදී ඇති වූ බහින්බස් වීමක් මෙම ගැටුමට මුල් වී ඇති අතර, දෙපාර්ශ්වය අතර මීට පෙර කිසිදු ආරවුලක් තිබී නොමැති බවද අධිකරණයේදී අනාවරණය විය.

වින්දිතයින් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය තුළට දෙවන විත්තිකරු විසින් අත්බෝම්බයක් දැමූ බව සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබේ.

එම බෝම්බය පිපිරීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනකු මියගිය අතර, ත්‍රිරෝද රථ රියදුරු සහ ඒ අසල සිටි තවත් පුද්ගලයකු තුවාල ලැබීය.

විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 11ක් ගොනු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ චාමික ගුරුගේ පෙනී සිටි අතර, විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රන්ජන් මෙන්ඩිස් සමඟ නීතිඥවරුන් වන ලලිත් දහනායක සහ සරත් ජයවර්ධන පෙනී සිටියහ.