May 3, 2026

ලෝක සාමය, සංහි­ඳි­යාව සහ මනු­ස­ත්බව පතා විය­ට්නාම ජාතික පඤ්ඤා­කර හිමි ඇතුළු විදෙස් භික්ෂූන් පිරි­සක් ආලෝක නම් සුන­ඛ­යාද කැටුව ඉන්දි­යාව, අමෙ­රි­කාව ඇතුළු රට­වල සිදු කළ සාම පාද චාරි­කාවේ තවත් අදි­ය­රක් මෙරට තුළද ‘ඒහි­ප­ස්සිකෝ’ නමින් ක්‍රියා­ත්මක වූ ඉකුත් දින කිහිපය මෙරට බෞද්ධ­යන් මතු නොව; සකල ශ්‍රී ලාංකි­ක­යාම මහත් පහන් සංවේ­ග­යක් උප­දවා ගත් දවස් කිහි­ප­යක් විය.

එලෙස විදෙස් බෞද්ධ භික්ෂූන් වහන්සේ කණ්ඩා­ය­මක් ශ්‍රී ලංකා­වට පැමිණ බෞද්ධ දර්ශ­නය ඔස්සේ ලොව­ටම සාමය පතා මහත් වූ ආනි­ශං­ස­යක නිරත වෙද්දී මෙරට භික්ෂූන් විසි­දෙ­න­මක් ඉකුත් 22 දා තායි­ල­න්තයේ බැංකොක් නුවර බලා රැගෙන ගොස් තිබුණේ ආග­මික, අධ්‍යා­ප­නික සහ අන්ත­ර්ජා­තික අත්දැ­කී­මක් අත් කර දීමට බවට සඳ­හන් ‌කරමිනි. එය සංවි­ධා­නය කළ කණ්ඩා­යම විසින් ගුවන් ටිකට් පත්, ඉඳුම්-හිටුම් ඇතුළු සියලු පහ­සු­කම් නොමිලේ සල­සනු ලැබ තායි­ල­න්ත­යට ගොස් දින තුනක පමණ කාල­යක් ගත කළ ඒ භික්ෂු කණ්ඩා­යම ඉකුත් 25 දා රාත්‍රී 10.15ට පමණ කටු­නා­යක ගුව­න්තො­ටට ළඟා වූයේ තායි­ල­න්තයේ බැංකොක් නුවර සිට පැමිණි එෆ්ඩී 140 දරන තායි එයාර් ඒෂියා ගුවන් සේව­යට අයත් යාන­යෙනි. හිමි­ව­රුන් සියලු දෙනාම කටු­නා­යක ගුව­න්තො­ටට පැමි­ණියේ එකම වර්ගයේ ගම­න්මලු 22ක්ද තල්ලු කර­ගෙ­නය.

ඉකුත් සමයේ තායි­ල­න්තයේ පැවති මත්ද්‍රව්‍ය පිළි­බඳ ලිහිල් ප්‍රති­ප­ත්තිය හේතු­වෙන් තායි­ල­න්තයේ සිට පැමි­ණෙන ගුවන් මගීන් සහ ගම­න්මලු පිළි­බ­ඳව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළේ රේගු නිල­ධා­රීන් මෙන්ම ගුව­න්තො­ටු­පොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රීන්ද මහත් විම­සි­ල්ලෙන් පසු වූයේ උකුසු ඇස් යොමා­ගෙ­නය. මේ අතර භික්ෂුන් විසිදෙනම නම රැගෙන එමින් තිබූ එකම වර්ගයේ ගම­න්මලු පිළි­බ­ඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුව­න්තො­ටු­පොළ ඒක­කයේ නිල­ධා­රි­ය­කුට සිය තොර­තු­රු­ක­රු­ව­කු­ගෙන් ගුවන්යානය මෙර­ටට ළඟා වීමට පැය කිහිප­ය­කට පෙර විශ්ව­ස­නීය තොර­තු­රක් ලැබී තිබිණි.

“සර්… අද (25) රෑ බැංකොක් ඉඳලා ෆ්ලයිට් එකක් එනවා කටු­නා­ය­කට… ඒකේ හාමු­දු­රුවෝ විසි­දෙ­න­මක් එනවා… ඒ අය එකම වර්ගයේ කළු­පාට, නිල්පාට ට්‍රැව­ලින් බෑග් 22ක් අරන් එන්නේ… ඒ බෑග්වල මත්ද්‍රව්‍ය තියෙ­නවා… ඇලර්ට් එකේ ඉන්න…” යැයි කී ඒ තොර­තු­රු­කරු ගුව­න්යා­නය ගැන මෙන්ම එලෙස පැමි­ණෙන හිමි­ව­රුන්ගේ බොහෝ තොර­තු­රුද මත්ද්‍රව්‍ය කාර්යාංශ නිල­ධා­රි­යාට දී තිබිණි.

ඒ අනුව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රීහු ගුවන්යානය පැමි­ණෙන තෙක් අවේ­ක්ෂණ රාජ­කා­රියේ නිරත වෙමින් සිටි­යහ. එහිදී ගුව­න්යා­නයේ පැමිණි හිමි­ව­රුන් විසිදෙනම සිය ගමන් මලු ‘බේල්ට්’ එකට දැමී­මෙන් පසු නාකො­ටික් නිල­ධා­රීන් විසින් ඒ ගම­න්මලු ගුව­න්තො­ටු­පොළ පැමි­ණීමේ පර්ය­න්තයේ ගම­න්මලු පථ ප්‍රදේ­ශ­යේදී සිය භාර­යට ගනු ලැබිණි. එහිදී හිමි­වරු එලෙස සිය ගම­න්මලු පොලිස් භාර­යට ගන්නේ කුමක් නිසාද යන්න විම­ස­­න්නට වූහ.

“හාමු­දු­රු­වනේ… අපට තොර­තු­රක් ආවා… මේ ගම­න්මලු 22 ඇතුළේ මත්ද්‍රව්‍ය තියෙ­නවා කියලා… අපට මේ ගම­න්මලු 22ම චෙක් කරන්න අව­ශ්‍යයි…”“ යැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ගුව­න්තො­ටු­පොළ ඒක­කයේ ස්ථානා­ධි­පති ලෙස කට­යුතු කරන උප පොලිස් පරි­ක්ෂ­ක­ව­රයා පැව­සීය. ඒ අනුව එම ගම­න්මලු 22 ප්‍රථ­ම­යෙන් රේගු නිල­ධා­රීන්ට යොමු කෙරුණේ ඒවායේ බදු අය කර­ගැ­නී­මට අදාළ භාණ්ඩ තිබේද යන්න පරීක්ෂා කිරීම සඳ­හාය. අන­තු­රුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිල­ධා­රීන් ඒ ගම­න්මලු පරීක්ෂා කරන්න වූයේ භික්ෂුන් වහ­න්සේගේ හැසි­රීම් විලා­සයේ වෙන­සක්ද දකින අත­රේය. මේ ගම­න්මලු පරි­ක්ෂා­වේදී මුලින් දක්නට ලැබුණේ ඒ තුළ ටොෆි, චොකල්ට් වැනි රස­කැ­විලි මෙන්ම සබන්, ෂැම්පු වර්ග, රේසර්, දන්තා­ලේ­පන හා ලිපි ද්‍රව්‍යද තිබෙන ආකා­ර­යයි.

අන­තු­රුව ගම­න්ම­ලු­වල ව්‍යාජ ලෙස සකසා තිබූ පතුල් කැපූ නාකො­ටික් නිල­ධ­ර­යන් සූක්ෂ්ම ලෙස පරීක්ෂා කරද්දී ඒ රහස් පතු­ල්වල අසුරා කුෂ් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 112ක පමණ ප්‍රමා­ණ­යක් තිබී සොයා ගැනිණි. ඒ කුෂ් කිලෝ­ග්‍රෑම් 101යි ග්‍රෑම් ප්‍රමා­ණ­යක් සහ හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 10යි ග්‍රෑම් 500ක ප්‍රමා­ණ­යක් වශ­යෙනි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිල­ධා­රීන්ගේ ගණ­නය අනුව මේ මත්ද්‍රව්‍ය ප්‍රමා­ණයේ මුළු වටි­නා­කම රුපි­යල් කෝටි 112කට අධි­කය. මෙලෙස අත්අ­ඩං­ගු­වට ගත් කිලෝ­ග්‍රෑම් 112ක මත්ද්‍රව්‍ය තොගය කටු­නා­යක ගුව­න්තො­ටු­පො­ළේදී ඉති­හා­සයේ අත්අ­ඩං­ගු­වට ගත් විශා­ල­තම සහ භික්ෂූන් පිරි­සක් මත්ද්‍රව්‍ය සමඟ අත්අ­ඩං­ගු­වට ගත් පළමු අව­ස්ථාව ලෙස­ටද සැලකේ.

අන­තු­රුව නාකො­ටික් නිල­ධා­රීන් හිමි­ව­රු­න්ගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වන්නට වූයේ ඒ ගම­න්මලු 22, හිමි­ව­රුන් නතර වී සිටි හෝට­ල­යට ගෙන්වා ගෙන ඇත්තේ මේ චාරි­කාවේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කර­මින් එය සංවි­ධා­න­යට මූලි­ක­ත්වය ගත් හිමි­න­මක් වන මහා­නා­ම­ති­ලක හිමි බවය.

“මහ­ත්තයෝ… අපි හිටිය හෝට­ල­ය­ටම මේ බෑග් කෝල් කරලා ගෙන්න ගත්තේ මහා­නා­ම­ති­ලක හාමු­දු­රුවෝ තමයි… මේ බෑග්වල තියෙන ඒවා අපේ රටේ දුප්පත් පාස­ල්වල දරු­වන්ට සහ දුප්පත් විහා­ර­ස්ථා­න­වල සිටින හිමි­ව­රුන්ට දෙන්න කියලා තමයි ගෙන්න­ගත්තේ… මේ බෑග් ලංකා­වට ගෙනිච්ච ගමන් එයා­පෝට් එකේදී අමි­තා­නන්ද හාමු­දු­රුවෝ ඇවිල්ලා බාර ගනිවි කිය­ලත් කිවුවා… ඒ වගේම මේ බෑග් කොයිම වෙලා­ව­ක­වත් ඕපන් කරන්න එපා කිය­ලත් අපට උප­දෙස් දුන්නා…” යැයි හිමි­වරු පැව­සූහ.

ඒ අතර නාකො­ටික් නිල­ධා­රීන්ගේ දිගින් දිග­ටම ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වූයේ ඒ ගම­න්ම­ලු­වල බර වැඩි­කම නිසා ගම­න්මලු බැංකොක් ගුව­න්තො­ටු­පො­ළේදී නැවත විවර කොට භාණ්ඩ ප්‍රමා­ණ­යක් ඉවත් කර­ගැ­නී­මට හිමි­ව­රුන්ට සිදුව ඇති බවයි. ඒ මොහොතේ එම ගම­න්ම­ලු­ව­ලින් කුෂ් සහ හෂීස් මත්ද්‍ර­ව්‍ය­ව­ලින් සාමා­න්‍ය­යෙන් පිට වන සුවඳ වහ­නය වීමෙන් හිමි­වරු සියලු දෙනා එම ගම­න්ම­ලු­වල තිබූ මත්ද්‍රව්‍ය පිළි­බඳ දැන සිටිය යුතු බවත්, එසේ නොවන්නේ ගඳ සුවඳ නොහ­ඳු­නන අයට පම­ණක් බවත් නාකො­ටික් නිල­ධා­රීන්ගේ මත­යයි. කෙසේ හෝ ඒ මොහොතේ හිමි­ව­රුන් විසි­දෙ­නම අතර සිටි චාරි­කාව සංවි­ධා­නය කළ මහා­නා­ම­ති­ලක හිමි ඇතුළු තිදෙනා පවසා ඇත්තේ, “හාමු­දු­රු­වරු බය­වෙන්න එපා… සාමා­න්‍ය­යෙන් හාමු­දු­රු­වරු අරන් යන බෑග් කටු­නා­ය­කදී එච්චර චෙක් කරන්නේ නෑ… ඒක නිසා කිසි දේකට බය වෙන්න ඕන නෑ…” යනු­වෙනි.

ගුව­න්තො­ටු­පොළ නාකො­ටික් නිල­ධා­රි­ය­කුට ලද තොර­තුර ඔස්සේ සිදු කළ ඒ සූක්ෂ්ම වැට­ලී­මෙන් සියල්ල කණ­පිට පෙර­ළුණේ මේ භික්ෂු කණ්ඩා­යම පැවි­ද්දන් ලෙස බෞද්ධා­ග­ම­ටද සිදු කළ මහත් නිගා­වක් ගෙන දෙන තත්ත්ව­යක් උදා කර­මිනි.

භික්ෂුන් විසි­දෙ­නම අතර සිටි තිදෙ­නකු ඉකුත් මාර්තු මාස­යේද තවත් හිමි­වරු විසි­දෙ­න­මක සමඟ තායි­ල­න්ත­යට ගොස් මෙලෙ­සම ගම­න්මලු රැගෙන ආ බවත් ඒවා­යේද මත්ද්‍රව්‍ය රැගෙන ආ බව ප්‍රශ්න කිරී­ම්ව­ලදී හෙළි විය.

ඒ අනුව ඊට පෙරද තායි­ල­න්ත­යට ගොස් සිටි හිමි­ව­රුන් තිදෙනා ලෙස හඳුනා ගැනුණේ පිළි­ය­න්දල, මඩ­පාත, ජඹු­ර­ලිය පුණ්‍ය­ව­ර්ධ­නා­රා­මයේ විසූ දෙම­ට­ආරේ මහා­නා­ම­ති­ලක, රනාලේ ඤාණ­සීහ සහ රිටි­ග­හ­වත්තේ සීල­රත්න යන හිමි­ව­රුය.

ක්ෂණ­යෙන් නාකො­ටික් නිල­ධා­රීන් ක්‍රියා­ත්මක වූයේ එලෙස හිමි­ව­රුන් විසි­දෙ­නම රැගෙන ආ පාර්සල් 22 මෙර­ටදී භාර­ගෙන රැගෙන යෑමට වෑන් රථ­යක්ද සමඟ ඒ වන විටත් ගුව­න්තො­ටු­පො­ළට පැමිණ සිටි­යා­යැයි හිමි­ව­රුන් පැවසූ අඟු­ණ­කොළේ අමි­තා­නන්ද නමැති හිමි­නම අත්අ­ඩං­ගු­වට ගැනී­ම­ටය. කෙසේ හෝ හිමි­ව­රුන් රැගෙන ආ පාර්සල් නාකො­ටික් නිල­ධා­රීන්ට කොටු වීමත් සමඟ ගුව­න්තො­ටු­පොළේ රැඳි සිටි අමි­තා­නන්ද හිමි­නම පලා ගොස් සිටි­යහ. අන­තු­රුව එම හිමි­නම සොයා විම­ර්ශන සිදු කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ නිල­ධා­රීන් අමි­තා­නන්ද හිමි ඒ වන විට වාසය කළ කඩ­වත, රන්මු­තු­ගල ශ්‍රී පුණ්‍යාලං­කාර පුරාණ විහා­ර­ස්ථා­න­යට ගොස් සොයා බැලු­වද ඒ මොහොතේ ඔහු එහි සිට නැත. ඒ අතරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය භාර නියෝජ්‍ය පොලි­ස්පති අශෝක ධර්ම­සේ­නට තොර­තු­රක් ලැබී තිබුණේ අමි­තා­නන්ද හිමි මීට වසර හත­කට පමණ පෙර විසූ ගම්පහ, මීග­හ­වත්ත ප්‍රදේ­ශයේ පිහිටි ඉපි­ලි­කන්ද භාවනා මධ්‍ය­ස්ථා­නයේ සැඟවී සිටින බව සඳ­හන් කර­මිනි. ඒ භාවනා මධ්‍ය­ස්ථා­නය සොයා ගිය නාකො­ටික් නිල­ධා­රීහු ඉකුත් 26 දා දහ­වලේ අමි­තා­නන්ද හිමිද අත්අ­ඩං­ගු­වට ගත්හ.

මේ හිමිවරු පිරිස ඊට පෙර එකි­නෙකා නොහ­ඳු­නන බවත්, ඔවුහු දැන­හ­ඳු­නා­ගෙන ඇත්තේද මේ සංචා­රය අත­ර­තුර බවත් හෙළි විය.

අත්අ­ඩං­ගු­වට ගත් හිමි­ව­රුන් සතුව තිබූ ජංගම දුර­ක­තන පරි­ක්ෂා­වේදී නිල­ධා­රීන්ගේ දෙනෙත් ඉහ­ළට එස­වුණේ ඒවායේ තිබූ වීඩියෝ සහ ඡායා­රූප දුටු විටය.

වැට­ලී­මට එක් වූ නිල­ධා­රි­යෙක් “ඒ හිමි­වරු හැම කෙනා­ගෙම ෆෝන්වල තායි­ල­න්තෙදී ගත කළ දින තුනේදී ගත් ඡායා­රූප පම­ණක් නොවේ, ලංකා­වේදී ගත්තු ඡායා­රූ­පත් තිබුණා… ඒ ඡායා­රූප අතර පැවිදි හිමි­ව­රුන්ට උචිත නොවන ආකා­රයේ ඡායා­රූප බොහො­ම­යක් තිබුණා. පැවිදි සිවුරු ගලවා දමා සාමාන්‍ය ගිහි­යන් අඳින ඇඳුම් ඇඳ­ගෙන… හිස්වැ­සුම් පැල­ඳ­ගෙන ඡායා­රූප ගෙන තිබුණා. ඒ වගේම ඇතැ­මෙක් සිවුර පිටින්ම දුම්වැටි, මත්ද්‍රව්‍ය භාවිත කරන ආකා­රයේ ඡායා­රූප, මෙහෙ­ණින් වහන්සේ සමඟ වීඩියෝ කෝල් මඟින් හැසි­රුණු ආකා­රයේ ස්ක්‍රීන් ෂොට් වගේ බොහෝ දේවල් තිබුණා…” යැයි පැව­සීය.

එම හිමි­වරු විසි­දෙ­නම තායි­ල­න්තයේ ගත කළ දින තුන තුළදී තායි­ල­න්තයේ සංචා­ර­ක­යන්ගේ පාරා­දීස බඳු පතායා වැනි දූප­ත්ව­ලද සැරි­සරා ඇති අතර, එම දූප­ත්වල ගිහි­යන් සේ හැසි­රෙ­මින් ඡායා­රූප සහ වීඩි­යෝ­ගත කර මෙරට වාසය කළ හිත­වත් හිමි­ව­රු­න්ටද එම ඡායා­රූප සහ වීඩියෝ ඒවා තිබිණි. හිමි­ව­රුන් විසි­දෙ­නම අත්අ­ඩං­ගු­වට පත් වීමත් සමඟ සමාජ මාධ්‍ය­යන්හි සැරි­ස­ර­න්නට වූ ඒ වීඩියෝ සහ ඡායා­රූප සමාජ මාධ්‍ය­යන්ට මුදා­හැර ඇත්තේද එකී හිත­වත් හිමි­ව­රුන් විසි­න්මය.

අධ්‍යා­ප­නික හා ආග­මික පුණ්‍ය ක්‍රියා­වක් ලෙස හා අන්ත­ර්ජා­තික අත්දැ­කීම් දීමේ අර­මුණ ඇතිව මෙවැනි තායි­ලන්ත සංචා­ර­යක් සඳහා භික්ෂූන් එක්රැස් කර­ගෙන ඇත්තේ මුහු­ණු­පොත ඔස්සේ ජඹු­ර­ලියේ විසූ මහා­නා­ම­ති­ලක හිමි ඇතුළු තිදෙ­නාය. අන­තු­රුව, සමාජ මාධ්‍ය­යෙන් හඳු­නා­ගත් හිමි­වරු එක් කොට වට්ස්ඇප් සමූ­හ­යක් නිර්මා­ණය කර ඇත. ඒ වට්ස්ඇප් සමූ­හයේ ඇඩ්මින් නැති නම් පරි­පා­ලක ලෙස කට­යුතු කර­මින් චාරි­කාව සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත්, ඉඳුම්-හිටුම් ඇතුළු සියල්ල නොමිලේ සම්පා­ද­නය කිරී­මට ඉදි­රි­පත් වී ඇත්තේ කඩ­වත, රන්මු­තු­ගල විහා­ර­ස්ථා­නයේ විසූ අඟු­ණු­කොළේ අමි­තා­නන්ද හිමි විසිනි. ඒ හිමි­නම මෙලෙස තායි­ල­න්තයේ සිට මෙර­ටට භික්ෂූන් යොදා ගෙන මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රධාන කාර්යය සිදු කළ හිමි­නම ලෙසද හෙළි වේ.

විම­ර්ශන නිල­ධා­රීන් ප්‍රශ්න කරද්දී මුලදී නිල­ධා­රීන්ට කිසි­වක් නොප­ව­ස­මින් සිටි අමි­තා­නන්ද හිමි අන­තු­රුව නාකො­ටික් නිල­ධා­රී­න්ගෙන් ගැල­වී­මක් නැති තැන සඳ­හන් කර තිබුණේ මීට පෙර අවස්ථා දෙක­ක­දීම මෙලෙස තායි­ල­න්තයේ සිට හිමි­ව­රුන් මාර්ග­යෙන් මත්ද්‍රව්‍ය රැගෙන ආ බවත් එලෙස රැගෙන ආ මත්ද්‍රව්‍ය අතු­රු­ගි­රියේ නිවෙ­ස­කට ගෙන ගොස් දුන් බවයි. ඒ අනුව ඉකුත් මාර්තු 20 වැනි­දාද මෙවර චාරි­කා­වට එක් වූ මහා­නා­ම­ති­ලක හිමි ඇතුළු භික්ෂූන් තිදෙ­න­කුද ඇතු­ළුව හිමි­ව­රුන් දොළොස් නමක් යොදා ගෙන තායි­ලන්ත සංචා­ර­යක් ගොස් මත්ද්‍රව්‍ය මෙර­ටට රැගෙ­න­විත් තිබේ. එසේම මෙකී චාරි­කා­වෙන් අන­තු­රු­වද මේ මාසය තුළ තවත් හිමි­ව­රුන් 40 නමක පමණ කණ්ඩා­ය­මක් යොදා ගෙන තායි­ලන්ත සංචා­ර­යක් සැල­සුම් කර­මින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම දිගින් දිග­ටම සිදු කර­න්නද මෙකී අමි­තා­නන්ද හිමි සහ මහා­නා­ම­ති­ලක හිමි ඇතුළු භික්ෂූන් සිව් දෙනා සැල­සුම් කර තිබිණි.

එසේම මේ හිමි­ව­රුන්ගෙන් ප්‍රශ්න කිරී­මේදී හෙළි වී ඇත්තේ මෙලෙස තායි­ල­න්තයේ සිට මෙර­ටට මත්ද්‍රව්‍ය එවීම සඳහා මත්ද්‍රව්‍ය දෙන්නේ තායි­ල­න්තයේ වාසය කරන හිමි­ව­රුන් දෙන­මක් සහ මුස්ලිම් ජාතික පුද්ග­ල­යකු විසින් බවයි.

අමි­තා­නන්ද ඇතුළු මත්ද්‍රව්‍ය ජාවා­රමේ ප්‍රධාන හිමි­ව­රු­න්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වූ තොර­තුරු ඔස්සේ විම­ර්ශන නිල­ධා­රීන් ඉකුත් මාර්තු මාස­යේදී තායි­ල­න්ත­යෙන් රැගෙ­න­විත් මත්ද්‍රව්‍ය ලබා­ දුන් අතු­රු­ගි­රියේ නිවෙස සොයා විම­ර්ශන සිදු කෙරිණි. එහිදී ඉකුත් 27 දා අතු­රු­ගි­රියේ සුපිරි දෙම­හල් නිවෙ­සක උඩු මහලේ සිටි­යදී හිමි­ව­රුන් රැගෙ­න­විත් දුන් මත්ද්‍රව්‍ය භාර ගත් තැනැත්තා අත්අ­ඩං­ගු­වට ගැනිණි. මේ වන විට ඔහු­ගෙන් දිගින් දිග­ටම ප්‍රශ්න කර­මින් සිටින්නේ මෙකී මත්ද්‍රව්‍ය ජාවා­රමේ යට සිටින පුද්ග­ල­යන් කවු­රුන්ද සොයායි. අත්අ­ඩං­ගු­වට ගත් චන්ද්‍ර­කු­මාර නමැති ඒ පුද්ග­ලයා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සාමාන්‍ය සේව­ක­යකු ලෙස සේවය කරන අතරේ මෙකී ජාවා­ර­මද කලක සිටම සිදු කර ඇති බවත් හෙළි­ද­රවු වෙමින් තිබේ.

එසේම චාරිකා සංවි­ධා­නය කළ අමි­තා­නන්ද සහ මහා­නා­ම­ති­ලක ඇතුළු හිමි­ව­රුන් සිව් දෙනා­ගෙන් සිදු කරන ප්‍රශ්න කිරී­ම්ව­ලදී මෙකී ජාවා­රම පසු­පස සිටින ගාල්ල ප්‍රදේ­ශයේ මුස්ලිම් ව්‍යාපා­රි­ක­යකු ගැනද හෙළි­ද­රවු වුවද එම පුද්ග­ලයා ගැනත් මේ වන විට විම­ර්ශන සිදු කෙරෙ­මින් පව­තින බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මුලින් අත්අ­ඩං­ගු­වට ගත් හිමි­ව­රුන් විසිදෙනම සහ පසුව අත්අ­ඩං­ගු­වට ගත් අමි­තා­නන්ද හිමිද මීග­මුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු දින හතක කාල­යක් රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශ­යට අව­සර ලැබිණි. එමෙන්ම හිමි­ව­රුන් පිළි­බඳ සිදු කළ අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­ව­ලින් හෙළි වී ඇත්තේ හිමි­ව­රුන් 19 දෙන­කුම අත්අ­ඩං­ගු­වට ගන්නා මොහොත වන විට මත්ද්‍රව්‍ය පානය කර ඇති බවය.

අත්අ­ඩං­ගු­වට ගත් හිමි­වරු සියලු දෙනා­ගේම ජංගම දුර­ක­තන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට භාර දෙමින් වැඩි­දු­ර­ටත් එම දුර­ක­තන ඔස්සේද විම­ර්ශන සිදු කෙරෙ­මින් පවතී. අත්අ­ඩං­ගු­වට ගත් හිමි­ව­රුන්ගේ පාපෝ­ච්චා­රණ අනුව ඉදිරි විම­ර්ශන සිදු කෙරෙ­මින් පව­තින බවත් එම පාපෝ­ච්චා­රණ අනුව ඉදි­රි­යේදී මෙකී මත්ද්‍රව්‍ය ජාවා­ර­මට සම්බන්ධ තවත් පුද්ග­ල­යන් කිහිප­දෙ­නෙ­කුම අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි බවත්, සඳ­හන් කරන විම­ර්ශන නිල­ධා­රීහු ඉදිරි විම­ර්ශ­න­ව­ලට බාධා වන හෙයින් වැඩි­දු­ර­ටත් තොර­තුරු හෙළි කළ නොහැකි බව සඳ­හන් කරති.

(උපුටාගැනීම – සිළුමිණ පුවත්පත)