June 9, 2026

චීනයේ හොංකොං හි පැවැත්වෙන 22 වැනි ආසියානු වයස් අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා මීටර 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ මැද දුර ධාවන ක්‍රීඩිකා තරුෂි අභිෂේකා සමත්ව තිබේ.

මෙම ජයග්‍රහණය ආසියානු මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ කනිෂ්ඨ මට්ටමින් ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සටහන් වේ.

මාතලේ දිස්ත්‍රික්කයෙන් බිහිවී, පසුව ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලෙන් සිය ක්‍රීඩා දිවිය ඔප්නංවා ගත් තරුෂි අභිෂේකා, පසුගිය වසර කිහිපය පුරා ජාතික හා අන්තර්ජාතික මට්ටමේ මැද දුර ධාවන ඉසව් සඳහා අඛණ්ඩව ඉදිරිපත් වූවාය.

ඇය බුද්ධික නුවන් පුහුණුකරු යටතේ පුහුණුව ලබන අතර, ඔහුගේ මඟපෙන්වීම යටතේ ඇය මීටර 800 සහ මීටර 1500 යන ඉසව් දෙකෙන්ම කැපීපෙනෙන දක්ෂතා වර්ධනය කර ගැනීමට සමත්ව සිටින්නීය.

ඇය ප්‍රථම වරට අන්තර්ජාතික අත්දැකීම් ලැබුවේ 2024 වසරේ ඩුබායි හි පැවැති ආසියානු U20 මලල ක්‍රීඩා ශූරතාවලියට ඉදිරිපත් වෙමිනි.

එහිදී ඇය මීටර 800 බාලිකා අවසන් මහා තරගයේ සිව්වැනි ස්ථානය දිනාගත්තාය.

අනතුරුව 2025 වසරේ සෞදි අරාබියේ පැවැති ආසියානු U18 මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 800 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ඇය සමත් වූයේ සිය පළමු ප්‍රධාන අන්තර්ජාතික කිරුළ ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.

හොංකොං හි පැවැති මෙම නවතම තරගාවලියේදී ද විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ අභිෂේකා, මීටර 1500 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගනිමින් සිය අන්තර්ජාතික පදක්කම් එකතුවට තවත් රන් පදක්කමක් එක්කර ගැනීමට සමත් වූවාය.

එමෙන්ම මේ හරහා ඇය ආසියානු මට්ටමේ මැද දුර ධාවන ඉසව්වල සිය අනන්‍යතාවය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.

හොංකොං හිදී ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කලාපීය මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ජය ගැනීමට වෙර දරන ඇයගේ ඉදිරි ගමනේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි.