42.31%
17.27%
32.76%
May 5, 2023

(Image courtesy of Counter Point)

ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ දෙවන වටය (සාමාන්‍ය පෙට්‍රල් සඳහා සියයට 02 සිට සුඛෝපභෝගි වාහන වෙනුවෙන් භාවිත කරන සුපිරි ඩීසල් සඳහා සියයට 29 දක්වා) මගින් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව තමන්ට වඩාත් වාසිදායක ජන කොටස් අතර, තම ආධාර පදනම වැඩිදියුණු කිරීමට උත්සාහ කරන බවයි. මෙය වඩාත් වාසිදායක ජන කොටස්, ප්‍රධාන මත නිර්මාණය කරන්නන් යැයි විශ්වාස කරමින් මැතිවරණ අපේක්ෂාවෙන්, මනෝභාවයක් සකස් කිරීම විය හැකිය. ප්‍රමාද වී ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බවට ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්වලට ආණ්ඩුව මෙතෙක් පළකර ඇත්තේ විරුද්ධත්වයි. ප්‍රාදේශීය මට්ටමින්, ජනතාව තම දරුවන්ගේ පාසල් පෙළ පොත්වල මිල සියයට 200 ඉක්මවීම වැනි දැවැන්ත මිල ඉහළ යෑම්වලට මුහුණදෙන බව ද, ඔවුන්ගේ විදුලි බිල සියයට 300 කින් ඉහළ ගොස් ඇති බව ද ආණ්ඩුව දැන සිටිය යුතුය. කෙසේ වෙතත්, මැතිවරණයකින් ජනවරමක් ලබාගැනීම නීත්‍යනුකූලභාවයේ උල්පතකි. එමගින් ආණ්ඩුවකට තම පැවැත්ම සාධාරණීකරණය කිරීමටත්, ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමටත් හැකියාව ලැබේ.

වර්තමානය යනු, බංකොලොත් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලෝකය සමඟ සාමාන්‍ය වෙළඳ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා බොහෝ දුෂ්කර හා මතභේදාත්මක තීරණ ගැනීමට සිදුවන කාල පරිච්ඡේදයකි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රජය විදේශ ණය ගෙවීම නතර කරනු ලැබීය. තවදුරටත් ණය ආපසු ගෙවීමට විදේශ මුදල් සංචිතයක් රජය සතුව පැවතුණේ නැත. අන්තර්ජාතික පරිචය වන්නේ, බංකොලොත් රාජ්‍යය තම විදේශීය ණයහිමියන් සමඟ සාකච්ඡා කර, ගෙවීම් ප්‍රමාද කිරීම සහ ඔවුන්ට ගෙවිය යුතු මුදල් ප්‍රමාණය මත වට්ටමක් ලබාගැනීමයි. විදේශීය ණයහිමියන් සම්බන්ධයෙන් මෙම ප්‍රතිසාධන ක්‍රියාවලියට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහාය ලබාදී ඇත. දැන් ආණ්ඩුවට දේශීය ණයහිමියන්, දේශීය බැංකු හා රජයේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් තබා ඇති ආයතන සඳහා ද එසේ කිරීමට අවශ්‍ය බව පෙනෙන්නට තිබේ. මේවායින් සමහරක්, සිය විශ්‍රාම කාලය සඳහා වෙනත් අරමුදල් ප්‍රභවයක් නොමැති සේවකයන්ගේ ඉතිරිකිරීම්වලින් සමන්විත වේ.

සැබෑ ආදායමට අමතරව ඉතිරි කිරීම් අහිමිවීමේ යථාර්ථය කම්කරු පන්තියට පහර දෙන විට, රට තුළ පූර්ණ බලයෙන් සිටින මිනිසුන් විසින් ගොඩනගන මහජන විරෝධතා ඇති විය හැකි බවට පවතින කනස්සල්ල, තාවකාලිකව කල් දමා ඇති ත‍්‍රස්ත විරෝධී නීතිය සම්මත කිරීමේ ආණ්ඩුවේ උත්සාහයෙන් පිළිබිඹු කෙරේ. වැඩකරන ජනතාවගේ ඉතුරුම්, බොහෝ ධනවත් විදේශීය ණය හිමියන්ගේ (සිය අතිරික්ත ධනය ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකිකයන් ද ඇතුළත්ව) ණය කප්පාදුව සිදුකෙරෙන ආකාරයෙන්ම කැපීමට ලක් වූ විට, ජනතව පාරට බැස විරෝධතා පැවැත්වීමට ඉඩ තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරමින් ගෙන ඒමට උත්සාහ කරන ත්‍රස්ත විරෝධී පනතට, වෘත්තීය ක්‍රියාමාර්ගද ආවරණය කළ හැකි ආකාරයේ වඩා පුළුල් විෂය පථයක් ඇතුලත් කර ඇත. කෙසේවෙතත් ත්‍රස්ත විරෝධී පනත දැඩි ප්‍රතිරෝධයකට මුහුණ දී තිබේ. මේ මොහොතේ රටට අහිමි විය හැකි ‘ජීඑස්පී ප්ලස්’ සහනය නැවත සළකා බලන බවට යුරෝපා සංගමයද අනතුරු අඟවා ඇත.

විකල්ප දෙකක්

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් රජයට විකල්ප දෙකක් පවතින අතර, එමගින් බලයට තර්ජනයක් නොවන පරිදි නීත්‍යනුකූලභාවයක් ලබා ගැනීමට හැකිවේ. පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මහ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට නීතිමය බලය පවතී. එහෙත් ආණ්ඩු පක්ෂයට බහුතර බලයක් නොලැබුණහොත් ආණ්ඩුවට බලය අහිමි වන අතර, පාර්ලිමේන්තුවේ නව බහුතර පක්ෂය තමන්ට සතුරු වුවහොත් ජනාධිපතිවරයාටද බලය අහිමි වනු ඇත. අනෙක් අතට පළාත් පාලන මැතිවරණ හෝ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් ආණ්ඩුවේ බලයට ඍජු තර්ජනයක් එල්ල වන්නේ නැත. මෙම මැතිවරණ දෙකම මේ වන විටත් පවතින්නේ පැවැත්වීම ප්‍රමාද කෙරෙමිනි. පළාත් පාලන මැතිවරණයක් නොපැවැත්වීම සඳහා ආණ්ඩුවට පවතින නිදහසට කරුණ නම්, එය පැවැත්වීමට මුදල් නොමැතිවීමයි. එහෙත්, ඉන්ධන මිල අඩු කිරීම දෙස බලන විට එය කිසිසේත්ම පිළිගත නොහැකිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පවතින ආණ්ඩුව, 18 වැනි සියවසේ විසූ ඉංග්‍රීසි දේශපාලන විචාරකයකු වූ ඇලෙක්සැන්ඩර් පෝප්ගේ වදන් සිහිපත් කරමින් සිටින බව පෙනේ. එනම්, “රජයක් පවතින්නේ නම් හෝ යහපත් ප්‍රතිඵල අත්කර ගන්නේ නම්, රටක් ජනරජයක් ලෙස හෝ රාජාණ්ඩුවක් ලෙස හෝ වෙනත් ආකාරයක ආකෘතියක් ලෙස පාලනය වීමෙහි වෙනසක් නැත.”  වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් ඇතුළු සමාජයේ බොහෝදෙනා ධනාත්මකව පිළිගනු ලබයි. ජනාධිපතිවරයා තමා මුහුණ දෙන අභියෝග හමුවේ සංවර්ධනය වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මීට වසරකට පෙර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පළායෑමට සිදු වූ අවස්ථාවේ, පැවති අවුල් සහගත තත්ත්වය වහාම අවසන් කිරීමට ඔහු පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ලෙස තේරී පත් වූ අතර, එහිදී ඔහු දැක්වූ දායකත්වය පිළිගැනීමට ලක්ව ඇත. මෙහි පවතින අවාසිය නම්, රට වර්තමාන කනගාටුදායක තත්ත්වයට ගෙන ආ පෙර පැවැති තත්ත්වය එලෙසින්ම ස්ථාවර වීම වුවත්, අද සාමය පිළිබඳ හැඟීමක් පවතී. දූෂණ චෝදනාවලට ලක්වූ පුද්ගලයන් වගවීමකින් තොරව ඉහළ ධූරවල රඳවාගෙන සිටීම සදාචාරාත්මකව අනුමත කළ නොහැකි නමුත්, එම පුද්ගලයන් ඡන්ද බැංකු පාලනය කරන බැවින්, එම ක්‍රියාව දේශපාලනික වශයෙන් ප්‍රායෝගික ලෙස සලකන බවක් පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයා (සහ ඔහුගේ උපදේශක කණ්ඩායම) විශ්වාස කරන්නේ, තමාට වාසිදායක මොහොතේ පැවැත්වෙන මැතිවරණයකදී ජයග්‍රහණය කිරීමේ හොඳම අවස්ථාව තමන්ට පවතින බවය. කෙසේ වෙතත්, ඔහුට ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර නැත. කඩිනමින් ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ජනාධිපතිවරයකුට පමණක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ. පාර්ලිමේන්තුවෙන් තේරී පත්වන ජනාධිපතිවරයකු, ධුරයෙන් ඉවත් වූ ජනාධිපතිවරයාගේ ඉතිරි ධූර කාලය තුළ කටයුතු කළ යුතුය. ජනාධිපතිවරයාට ඉක්මන් මැතිවරණයක් කැඳවීමට අවශ්‍ය නම්, ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු අතර, ඒ සඳහා ඔහුට විපක්ෂයේ සහාය අවශ්‍ය වනු ඇත. ප්‍රශ්නය වන්නේ, මීළඟ ජනාධිපතිවරණය කඩිනමින් සහ ජනාධිපතිවරයාට අවශ්‍ය අවස්ථාවේදී කැඳවීම සඳහා සහාය ලබාදීමට විපක්ෂය කැමති වේද යන්නයි.

පළාත් සභා මැතිවරණ

මේ තත්ත්වය තුළ ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට කල්පනා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. මෙම මැතිවරණය වසර හතරකට වඩා ප්‍රමාද වී ඇත. පළාත් සභා මැතිවරණය කල් දමා ඇත්තේ, ඒ සම්බන්ධයෙන් වන මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් නොමැති බව පවසමින්, සංශෝධන සකස් කෙරෙමින් පවතින බැවිනි. එහෙත් ආණ්ඩුවට නීතිය වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඊට අවශ්‍ය බහුතරය ආණ්ඩුව සතුය. ජාතික හා අන්තර්ජාතික වැදගත්කම මත, පළාත් සභා මැතිවරණ පැවැත්වීමට විපක්ෂය විරුද්ධ වනු ඇතැයි සිතිය නොහැක.

1987 දී ඉන්දියානු රජයේ සහයෝගය ඇතිව, වාර්ගික ගැටුමට විසඳුමක් ලෙස පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. පළාත් සභා ආදර්ශයට ගෙන ඇත්තේ, ඉන්දියාව එක්සත්ව හා බොහෝදුරට සාමකාමීව තබාගැනීමට හැකි බව ඔප්පු වී ඇති, බලය බෙදා හැරීමේ ඉන්දියානු ක්‍රමය මතයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය පිළිබඳව ඇති දැක්ම යොමුව ඇත්තේ, ඒවා ආරම්භ වන විට පැවැති සහ අවසන් කිරීමට අදහස් කළ යුද්ධයේ කාචයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පළාත් සභා ක්‍රමය සරදමකට ලක් කර ඇති අතර, ප්‍රමාණවත් මූල්‍ය සම්පත් හා බලතල නොමැතිකමට පළාත් සභා ගොදුරු වී ඇත. නරකම සහ අපකීර්තිමත්ම තත්වය නම්, වසර හතරක් ගතවනතුරු මැතිවරණ නොපවත්වා, මධ්‍යම ආණ්ඩුව විසින් පත්කළ ආණ්ඩුකාරවරුන් හරහා ඒවා පාලනය කිරීමයි. මෙම මධ්‍යම ආණ්ඩුවේ පත්වීම්වලින් සමහරක්, පළාත් සභා විසින් මෙහෙයවනු ලබන ජනතාව කෙරෙහි කිසිදු බැඳීමක් පෙන්වීමට අපොහොසත් වී ඇත.

මේ මොහොතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම, රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ප්‍රතිසන්ධාන ක්‍රියාදාමයන් දෙකම ශක්තිමත් කිරීමේ සාධනීය ආරම්භයක් විය හැකිය. ජනවාර්ගික ගැටුම දශක තුනක් පුරා පැවති යුද්ධයක් දක්වා දුරදිග ගියේ, රට පාලනය කිරීමේදී තමන් ඵලදායී නොවන බව වටහාගත් දෙමළ ජනතාව තුළ ඇති වූ විරසක හැඟීම හේතුවෙනි. ජනාධිපති වික්‍රමසිංහ මහතා මැතිවරණ දේශපාලනයේදී, ජාතිකවාදී නොවන සහ ජාතිවාදී නොවන ප්‍රවේශයන් සම්බන්ධයෙන් ගෞරවයට පාත්‍ර වී ඇත. ඔහුගේ අලුත්ම ප්‍රකාශය වන්නේ, රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා, මේ වසරේදී එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවයි. පළාත් සභා ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීම, සංහිඳියාව පිළිබඳ පණිවිඩයක් මෙන්ම, ආණ්ඩුව තමන් යන මාවත පිළිබඳව ජනතාවගෙන් විමසීමට සූදානම් බවට ඉඟියක් ද විය හැකිය. ජනතාව ඉල්ලා සිටින්නේ, යුද්ධයේදී සිදු වූ අපරාධ සහ ආර්ථිකයේ වැරදි කළමනාකරණය සම්බන්ධයෙන් වන අපරාධ පිළිබඳ වගවීමයි.

  • ජෙහාන් පෙරේරා

 

42.31%
17.27%
32.76%