April 20, 2026

මෙවර සිංහල අලුත් අවු­රුද්ද ගෙවී යත්ම අප සවන් වැකුණේ ඛේද­වා­ච­ක­ය­න්ගෙන් පිරි ඉතා­මත් ශෝක­ජ­නක වූ ආරංචි පෙළකි. එනම්, මෙවර අවු­රුදු සමයේ දිය­නෑ­මට ගොස් දියේ ගිලී­මෙන් රට­පුරා අහි­මිවූ ජීවිත සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවකි. මෙම දියේ ගිලී­මෙන් වූ ජීවිත හානි අතු­රින් කොබෙ­යි­ගනේ කූර­ටි­යා­ග­හ­මුල මංකඩේ දිය නෑමට ගිය එකම පවුලේ 07 දෙනෙකු ඇතුළු ජීවිත 08ක් දැදු­රු­ඔය පතුලේ සැඟව ගියේ මුළු රටක්ම කඳුළු ගඟක ගිල්ව­මිනි.

සෙන­සු­රාදා (18) රාත්‍රි­යේදී සිද්ධි­යෙන් පැය 48කටත් පසුව මිය­ගිය අයගේ ඥාතීන්ගේ මෙන්ම ගම්වා­සීන්ගේ විලාප සෝ සුසුම් මධ්‍යයේ දේහ­යන් හතක් ගොප­ල්ලෑව නි‍ෙවස වෙත ගෙන එන ලදි.

අලුත් අවු­රුදු සතුට දෙගුණ තෙගුණ වන්නේ තම සමී­ප­තම ඥාතීන් හා එක්ව අවු­රුදු සැම­රී­මෙනි. සෑම අවු­රු­ද්ද­ක­ටම මෙන්ම මෙව­රත් කොබෙ­යි­ගනේ ගොප­ල්ලෑවේ පදිංචි සමීර ඇතුළු පවුලේ අය සිංහල අලුත් අවු­රුද්ද වෙනු­වෙන් සුපු­රුදු පරිදි කාල වේලා ඇති­වම ලක සැහැ­ස්තිවී සිටි­යහ. ගොප­ල්ලෑව, හෙන්ග­මුව, කොබෙ­යි­ගනේ පදිංචි සමීර ප්‍රදීප් ප්‍රදේ­ශයේ පොල් මිල­දී­ගන්නා ව්‍යාපා­රි­ක­යෙකු වූ අතර ඔහුගේ නි‍ෙවසේ සමී­රගේ බිරිය සුමුදු, පුතා දිනෙත් සහ පියා ධර්ම­දාස සහ මවත් පදිං­චිව සිටි­යහ. සමී­රගේ නි‍ෙව­සට එපි­ටින් එකම ඉඩමේ ඔහුගේ වැඩි­ම­හල් සොහො­යුරා වන ප්‍රියන්ත සිය නි‍ෙවස සාදා­ගෙන පදිං­චිව සිටියි. එම නි‍ෙවසේ ප්‍රියන්ත සමඟ ඔහුගේ බිරිය නිරෝෂා, පුත­ණු­වන් අශේන් සහ ඔවුන්ගේ අනෙක් කුඩා පුත­ණු­වන්ද දිවි ගෙවූහ.

පෙර අවු­රු­දු­ව­ලදී මෙන්ම රාගම ප්‍රදේ­ශයේ පදිං­චිව සිටින ප්‍රිය­න්තගේ බිරිය වන නිරෝ­ෂාගේ නැඟ­ණිය වන රොෂා­ණිත් ඇයගේ සැමියා වන ජය­වීර සහ ඔවුන්ගේ දිය­ණි­යන් දෙදෙ­නාත් නිරෝ­ෂාගේ මව සහ පියාත් මෙව­රද සිංහල අවු­රුදු වෙනු­වෙන් පැමි­ණෙන බව දන්වා තිබිණ.

සිංහල අවු­රුදු දිනය ගෙවී යත්ම පෙර දැනු­ම්දුන් පරිදි 15 වන දින රාගම සිට සිය නෑදෑ­යින් පැමි­ණීම වැඩි­හිටි අයගේ මෙන්ම කුඩා දරු­ව­න්ගේද ප්‍රමෝ­ද­යට හේතුවී තිබිණ. දිගු­ක­ලෙ­කින් පසු මුණ­ගැ­සීමේ සතු­ටද සම­ර­මින් සිය­ලු­දෙනා එක්ව සමී­රගේ නි‍ෙවස ඉදි­රි­පිට ගී ගය­මින් විනෝ­ද­වී­මට පෙර වස­ර­ව­ලදී මෙන්ම මෙව­රද ඔවුන් අම­තක කළේ නැත. මේ සෑම­දෙනා අත­රට හෙට්ටි­පොළ තාරන ප්‍රදේ­ශයේ සිට පැමිණි සමී­රගේ ඥාති පුත්‍ර­යෙකු වන සෙනුර කාවින්ද ද එක්ව සිටි­යේය.

මේ සිය­ලු­දෙනා ඉකුත් 16 වන දින දිවා ආහා­ර­යෙන් පසුව දැදු­රු­ඔයේ දිය නෑමට යෑමට සූදා­නම් වූයේ අලුත් අවු­රුද්දේ සතුට තව තවත් බෙදා­ගැ­නීමේ බලා­පො­රොත්තු ඇතු­වයි. එහෙත් මෙසේ එක්ව දිය නෑමට යන ආද­ර­ණී­ය­යන් සිය­ලු­දෙ­නාම නැවත ආපසු නොපැ­මි­ණෙන බව ඒ කිසි­වෙ­කුත් නොසි­ත­න්නට ඇත. සමී­ර­ලාගේ නි‍ෙවසේ සිට කිලෝ­මී­ටර් දෙකක් පමණ දුරින් පිහිටි දැදු­රු­ඔය කූර­ටි­යා­ග­හ­මුල මංකඩ වෙත යෑමට ඔවුන් නිල්පාට බට්ටා ලොරි­ය­කින් පිටත්ව ගියහ. මෙම පිරිස 15 දෙනෙකු පමණ වූ අතර ඔවුන් සවස 3.30 පමණ වන­විට දැදුරු ඔයට ළඟාවී සිටි­යහ.

මෙම මංකඩේ එක් පැත්තක තර­මක් ගැඹුරු වළක් නිර්මා­ණය වී ඇති බවත් ඒ ආස­න්න­යට යන අයෙකු ඔය පතුලේ වැලි තට්ටුව කිඳා­බැ­ස­ගෙන ගැඹුරු වළට ගසා­ගෙන යන බවත් ආසන්න ගමේ පදිං­චි­ක­රු­වන් වන සමීර ඇතුළු පිරිස හොඳින් දැන සිටි­යහ. ගමේ අය මෙම ගැඹුරු ස්ථානය හඳු­න්වන්නේ ‘කලිය’ යන නමිනි. පසු­ගිය දිට්වා සුළි කුණා­ටුව අව­ස්ථා­වේදි ඉති­හා­සයේ වැඩිම ජල කඳක් ගලා­ගිය දැදු­රු­ඔයේ මෙම ස්ථානය තවත් අව­දා­නම් ලෙස ගැඹු­රුවී ඇතැ­යිද ප්‍රදේ­ශ­වා­සීහු කියති. මීට පෙර අවස්ථා දෙක­කදී මෙම ස්ථානයේ දී පස්දෙ­නෙකු පමණ දියේ ගිලී මිය­ගිය බවද එම පිරිස කියති.

මෙම තත්ත්වය පිළි­බ­ඳව අව­ධා­න­යෙන් සිටි පිරිස එම ගැඹුරු ස්ථාන­යට මඳ දුර­කින් දිය නෑමට වග බලා­ගත්හ. ගැඹුරු ස්ථානය පැත්තෙන් වැඩි­හිටි පිරිස දිය නෑ අතර ඊට විරු­ද්ධව පිහිටි තර­මක් නොගැ­ඹුරු ස්ථාන­යක කුඩා දරු­වන්, කාන්තා­වන් ඇතුළු පිරිස ක්‍රීඩා කර­මින් දිය­නා­මින් සිටි බව රාගම සිට පැමිණි දිලිප් යසස් රංගන ජය­වීර (36) යන අය මර­ණ­ පිළි­බ­ඳව සිදු­කළ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි ලබා­දෙ­මින් පැවැ­සීය.

ඔහු වැඩි­දු­ර­ටත් සාක්ෂි ලබා­දෙ­මින් මෙසේද පැවැ­සීය. “මගේ පදිං­චිය අංක 341/01 නැලි­ගම රාගම. මා ශ්‍රී ලංකාවේ ගුවන් හමු­දාවේ සේවයේ නියු­තුව සිටි­නවා. මාගේ බිරිය වන ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ සේවයේ නියුතු දිමුතු රොෂානි ආනන්ද යන අයත් මෙම සිද්ධිය අව­ස්ථා­වේදී දියේ ගිලී­මෙන් බර­ප­තළ ලෙස රෝගා­තු­රව නික­වැ­ර­ටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබ­නවා. මේ සිද්ධිය වන අව­ස්ථා­වේදී අප සමඟ පැමිණි බොහෝ දෙනෙක් දිය නා අව­සන්ව සිටියා. මා සිටියේ මෙම දියේ ගිලීම සිදුවූ ස්ථාන­යට ටිකක් දුරින්. හදි­සි­යේම මට ඇහුණා සමීර කෑග­හ­නවා. මා දිව­ගොස් බලන විට සමීර සහ එයාගේ බිරිය ඔයේ අර ගැඹුරු ස්ථානයේ ගසා­ගෙන යමින් සිටියා. සමීර එයාගේ බිරි­යගේ අත­කින් අල්ලා­ගෙන හිටියේ. එහි පැමි­ණෙන ලෙස සමීර මට සංඥා කළා. මා ඔවුන් දෙදෙනා බේරා ගැනී­මට දියට පැන්නා. නමුත් මාවත් දියේ ගිලෙන්න පටන් ගත්තා. මට සමී­ර­ව­වත් ඔහුගේ බිරි­ය­වත් අල්ලා ගැනී­මට හැකි වුණේ නැහැ. විනාඩි කිහි­ප­ය­කට පසු දැඩි පරී­ශ්‍ර­ම­යක් දරා ගොඩට පීනා ගැනී­මට මට භැකි වුණා. ඒ අව­ස්ථා­වේදී අප සමඟ පැමිණි කිසි­වෙකු එහි සිටියේ නැහැ. හැමෝම වතු­රට පැනලා. අම්මලා දෙන්නා හඬ­මින් සිටියා මත­කයි. එවි­ටම මා දුටුවා මඳක් දුරින් මගේ බිරිය දියේ ගසා­ගෙන යනවා. මා ඔයේ කණ්ඩිය අයින දිගේ ගියා ඒ දෙසට. එත­කොට මම දැක්කා ගමේ කිසි­යම් කෙනෙකු මාගේ බිරිය බේරා ගැනී­මට ඔයට පැන්නා. ඉන් පසු බිරි­යව ගොඩට ගෙන එහි තිබූ යතු­රු­පැ­දි­ය­කින් කොබෙ­යි­ගනේ රෝහල වෙත ගෙන­ගියා. එම අව­ස්ථා­වේදී බිරි­යට සිහිය තිබුණේ නැහැ. පසුව බිරි­යට මූලික ප්‍රති­කාර ලබා­දී­මෙන් පසු නික­වැ­ර­ටිය මූලික රෝහලේ හදිසි අන­තුරු ඒක­ක­යට මාරු­කර යැව්වා. පසුව දැන­ගත්තා ඉතිරි අය දියේ ගිලී ඇති බව. මෙම මරණ සම්බ­න්ධ­යෙන් මාහට සැක­යක් නැහැ.

ගොප­ල්ලෑව පදිංචි එල්. ප්‍රියන්ත (මිය­ගිය සමී­රගේ සොහො­යුරා) සාක්ෂි ලබා­දෙ­මින් මෙසේ පැව­සීය. “මාගේ බිරි­යගේ නැඟ­ණිය වන දිමුතු රොෂාණි සහ ඇයගේ ස්වාමියා වන යසස් ජය­වීර යන අයත් ඔවුන්ගේ දරු­වන් දෙදෙ­නාත් මාගේ බිරි­ඳගේ මව සහ පියාත් පසු­ගිය 15 වැනිදා අපේ නි‍ෙව­සට පැමි­ණියා. තවත් තාරන උඩ­වෙල ප්‍රදේ­ශයේ පදිංචි සෙනුර පුතාගේ පවුලේ අයත් අප නි‍ෙව­සට පැමි­ණියා. පසුව සෙනුර පුතාගේ පවුලේ අය ආපසු ගියා. සෙනුර පුතා නැව­තුණා. ඒ පිටින් ආපු අයත් මගේ බිරිය සහ දරු­වන් දෙදෙ­නාත් මාගේ සොහො­යුරා වන සමී­රත් ඔහුගේ බිරිය සහ දරු­වාත් මාගේ මව සහ පියාත් මේගොල්ලො හැමෝම 16 වැනිදා සවස 4.00 ට විතර දිය­නෑ­මට දැදු­රු­ඔ­යට යන්න පිට­ත්වුණා. මම ගියේ නැහැ. මම ඔය වැව්ව­ලින් නාන්න කැමති නැති නිසා. මම නි‍ෙවසේ සිටින විට අපේ ගමේ ජය­ති­ලක නමින් හඳු­න්වන අය විමසා සිටියා ඔයේ නාන්න ගිය කෙනෙක් දියේ ගිලිලා අපේ ගෙදර අයත් ගියාද කියලා. මම ඒ වෙලාවේ ගෙදර දිය නාමින් හිටියේ. ඉක්ම­නින් කලි­ස­මක් ඇඳ­ගෙන ඒ වෙලාවෙ අපේ නි‍ෙවසේ සිටි අමිල මල්ලි සමඟ මම මෝට­ර්ස­යි­ක­ල­ය­කින් ඔය දෙසට ගියා. පාරෙදි හමු­වන අය­ගෙන් නාන මංක­ඩට යන පාර අහ­ගෙන අපි ගියා. යන­කොට මගේ අම්මයි බිරි­ඳගේ අම්මයි දරු­වන් දෙදෙ­නෙකු සමඟ අඬ­මින් සිටියා. එයාල කිව්වා ඔක්කො­ම­ලව ගහ­ගෙන ගියා. ගිහින් බලන්න කියලා.”

සිද්ධි­යෙන් මඳ වේලා­ව­කට පසු එනම් පස්වරු 5.25 ට පමණ කිසි­යම් අයෙකු විසින් 119 හදිසි දුර­ක­තන අංකය හරහා පොලී­සිය දැනු­වත් කර ඇති අතර ඒ අනුව වහා ක්‍රියා­ත්මක වූ කොබෙ­යි­ගනේ පොලී­සියේ ස්ථානා­ධි­පති රුවන් රණ­සිංහ මහතා සිය නිල­ධා­රීන් සමඟ සිද්ධිය වූ ස්ථාන­යට පැමිණ තිබිණ. ප්‍රදේ­ශ­වා­සීන්ගේ ද සහ­යෝ­ගය ඇතිව ඉතා සුළු වේලා­ව­කදී දියේ ගිලුණු දෙදෙ­නෙකු සොයා ගැනී­මට පිරි­සට හැකි­විය. එහෙත් ඒ වන­වි­ටත් ඔවුන් දෙදෙ­නාම මිය­ගොස් සිටි බව පොලී­සිය කියයි. අන­තු­රුව රෑබෝ­වී­මත් සම­ඟම අතු­රු­දන් වූවන් සෙවීමේ කට­යු­තු­ව­ලට බාධා­කාරී තත්ව­යක් ඇති­වු­වත් 17 වන­දින උදෑ­සන වන විට නාවික හමු­දාවේ ජීවි­තා­ර­ක්ෂක නිල­ධා­රීන්ගේ සහ ගම්වා­සීන්ගේ සහය ඇතිව මිය­ගිය සිය­ලු­දෙ­නාගේ සිරුරු සොයා ගැනී­මට හැකිවූ බව පොලී­සිය සඳ­හන් කරයි.

සිද්ධි­යෙන් මිය­ගිය එකම පවුලේ 07 දෙනා අතර ගොප­ල්ලෑව පදිංචි එල්. සමීර ප්‍රදීප් පුෂ්ප­කු­මාර (39), එම්.එල්. සාමා සුමුදු කුසු­ම්කු­මාරි (34) (මිය­ගිය සමී­රගේ බිරිය), මිය­ගිය සමී­රගේ දරුවා, එල්. ධර්ම­දාස (72) ( මිය­ගිය සමී­රගේ පියා), බී. නිරෝෂා ලක්මාලි ආනන්ද (42) (සමී­රගේ සොහො­යුරා වන ප්‍රිය­න්තගේ බිරිය), සමී­රගේ සොයුරු ප්‍රිය­න්තගේ දරුවා, බී. ආනන්ද (70) ( සමී­රගේ සොයුරු ප්‍රිය­න්තගේ බිරි­යගේ පියා) යන අයයි. මිය­ගිය අනෙක් අය වූයේ සමී­රගේ ඥාති පුත්‍ර­යෙකු වන සෙනුර කාවින්ද ප්‍රභාත් (18) යන අයයි.

සිද්ධිය සම්බ­න්ධ­යෙන් කොබෙ­යි­ගනේ පොලී­සිය විසින් නික­වැ­ර­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත කරුණු වර්තා කිරී­මෙන් අන­තු­රුව නික­වැ­ර­ටිය ප්‍රධාන මහේ­ස්ත්‍රාත් චාන්දන ලිය­නගේ මහතා විසින් ස්ථානීය පරී­ක්ෂ­ණ­යක් සිදු­කර එම ස්ථාන­යේදී මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු­ක­රන ලදි. එහිදි මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේ අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂණ කට­යුතු සඳහා සිරුරු නික­වැ­ර­ටිය මූලික රෝහල වෙත යොමු­ක­රන ලෙසයි. එම අධි­ක­රණ වෛද්‍ය වාර්තා මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කරන ලෙස පොලි­සි­යට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා සිය­ලුම දේහ­යන් ආදා­හ­නය කිරී­මෙන් වැළකී භූම­දාන කට­යුතු සිදු­ක­රන ලෙස ඥාතීන් වෙත නියෝ­ග­යක් ලබා­දු­න්නේය.

කෙසේ වෙතත් මිය­ගිය අයගේ දේහ­යන් ගොප­ල්ලෑව නිව­සට රැගෙන ඒමට සිද්ධි­යෙන් පසු දින දෙකක් ගත­විය. අධි­ක­රණ වෛද්‍ය පරී­ක්ෂ­ණ­යෙන් පසුව දේහ­යන් ඥාතීන් වෙත භාර­දෙන අව­ස්ථාව වන­වි­ටත් එම දේහ­යන් යහ­පත් තත්ත්ව­යෙන් තොති­බීම හේතු­වෙන් දේහ­යන් සියල්ල මුද්‍රා තැබී­ම­ටද සිදුව තිබිණ.

(උපුටාගැනීම – දිනමිණ)