June 6, 2023

දැනට රටේ ක්‍රියාත්මක බදු ක්‍රමය සැළකිවයුතු වෙනසකට ලක්කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමත්, සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් වේ.

‘අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහනට අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වාදිය යුතුව තිබේ. ඒ යටතේ බහුතරයක් නිදහස් කිරීම් ඉවත් කරමින් එකතු කළ අගය මත බදු (VAT) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමත්, සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමය අහෝසි කිරීමත් සිදු කළ යුතුව ඇත. දැනට පවතින එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් යළි තාර්කීකරණය කිරීම මඟින් ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2%කින් පමණ බදු ආදායම වැඩි කර ගැනීමට හැකියාව පවතී.

ඒ අනුව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ කෘෂිකර්මය වැනි ක්ෂේත්‍ර සඳහා වන නිදහස් කිරීම් මෙන්ම, අඩු ආදායම්ලාභී පවුල් මත පීඩනය ලිහිල් කරන සහ ආර්ථිකයේ ප්‍රධාන අංශ ආරක්ෂා කරන නිදහස් කිරීම් තවදුරටත් රඳවාගෙන, එකතු කළ අගය මත බදු නිදහස් කිරීම්වලින් බහුතරයක් ඉවත් කිරීමටත්, එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩාත් විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් දැනට ක්‍රියාත්මක වන සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමටත් හැකි වන පරිදි එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීම පිණිසත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිසත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’