February 28, 2026

පාකිස්ථානය ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරවල පිහිටි හමුද කඳවුරු වෙත බෝම්බ හෙළා භටයන් රැසක් මිය යෑමෙන් පසුව ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව තලේබාන් පාලකයන් සිකුරාදා ප්‍රකාශ කර තිබේ.

කලක් මිතුරුව සිට පසුව පසමිතුරන් වූ ඇෆ්ගනිස්ථානයට පාකිස්ථානය විසින් මෙවැනි ඍජු ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව මෙයයි.

සටන්කාමීන්ට රැකවරණය සපයන බවට චෝදනා මත මෙම ප්‍රහාරය එල්ල කරමින් සඳහන් කළේ තත්ත්වය දැන් ‘විවෘත යුද්ධයක්’ බවට පත්ව ඇති බවයි.

කාබුල් අගනුවර සහ තලේබාන් නායකයන් පදනම් වී සිටින කන්දහාර් නගරයේ ඉලක්කවලට පාකිස්ථානය පහර දුන් අතර, එය ඉස්ලාමීය අසල්වැසියන් අතර සබඳතාවල තියුණු බිඳීමක් පෙන්නුම් කරයි.

කාබුල්හි ස්ථාන දෙකකින් ඝන කළු දුමාරයක් නැඟුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

“ගුවන් යානයක් පැමිණ බෝම්බ දෙකක් හෙළුවා, පසුව නැවතත් පියාසර කළා. ඊට පසු, අපට පිපිරීම් ඇසුණා,” ප්‍රහාර එල්ල වන විට නිදා සිටි කාබුල් කුලී රථ රියදුරු තමීම් පැවසීය.

බ්‍රහස්පතින්දා ඇෆ්ගන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තලේබාන් හමුදා කාර්යාල සහ මුරපොලවල් වෙත ගුවනේ සිට ගොඩබිම් මිසයිල ප්‍රහාර එල්ල කළ බව පාකිස්ථානයේ ආරක්ෂක ආරංචි මාර්ග පැවසීය.

පාකිස්ථාන හමුදා ඉලක්ක වෙත පහර දීම සඳහා ඇෆ්ගන් හමුදා ඩ්‍රෝන යානා භාවිතා කළ බව තලේබාන් සංවිධානය පැවසීය.

සියලුම ඩ්‍රෝන යානා බිම හෙළා ඇති බවත් කිසිදු හානියක් සිදු නොවූ බවත් පාකිස්ථානය පැවසීය.