May 22, 2026

2023 සහ 2024 වසරවලදී මුද්‍රණය කරන ලද එහෙත් මෙතෙක් භාරගෙන නොමැති වාහන අංක තහඩු වහාම ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන හිමිකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙම අංක තහඩු 2026 ජුනි 30 වැනිදාට පෙර ලබාගත යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

එම වසරවල මුද්‍රණය කරන ලද වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විට දෙපාර්තමේන්තුව සතුව ගබඩා කර ඇති බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළ අංක තහඩු නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත යුතුය.

සෙසු දිස්ත්‍රික්කවලට අදාළ අංක තහඩු ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතින් ලබාගත හැකිය.

2023 සහ 2024 වසරවලදී අංක තහඩු සඳහා අයදුම් කළ නමුත් මෙතෙක් ඒවා ලබාගෙන නොමැති සියලුම වාහන හිමිකරුවන්ට මෙම උපදෙස් අදාළ වේ.