October 12, 2026

තායිවානයේ ජාතික දින උත්සවයේදී ජනාධිපති විලියම් ලායි විසින් සමුද්‍රසන්ධියේ ස්ථාවරත්වය සුරැකීමට දුන් ප්‍රතිඥාව ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇගයීමට ලක්ව තිබියදී, තයිවානයට එරෙහිව සිදුකරන සතුරු ප්‍රකාශ වහාම නතර කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටියේය.

පසුගිය සෙනසුරාදා පැවැති ජාතික දිනය අමතමින් ජනාධිපති ලායි තායිවානය කන්දක් මුදුනත පිහිටි දීප්තිමත් නගරයකට උපමා කළ අතර, තායිවානය සාමය අගය කරන නමුත් නිදහස පාවා නොදෙන බව ද පැවසුවේය.

එමෙන්ම ඔවුන් විවෘත සංවාදයන්ට සූදානම් නමුත් කිසිසේත්ම චීනයට යටත් වීමට සූදානම් නොමැති බව ද අවධාරණය කළේය.

කෙසේ වෙතත්, චීනයේ තයිවාන කටයුතු පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කළේ ජනාධිපති ලායිගේ කතාව සත්‍යය විකෘති කරන, ජනතාව නොමග යවන සහ යටි අරමුණු සහිත ප්‍රකාශයක් බවයි. තයිවානය චීනයේම කොටසක් බවත්, තයිවානයේ අනාගතය තීරණය කිරීමේ අයිතිය තයිවාන වැසියන් ඇතුළු සමස්ත චීන ජනතාවටම හිමිවන බවත් චීනය වැඩිදුරටත් සඳහන් කළේය.

චීනයේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් තයිවාන විදේශ අමාත්‍යාංශය කියා සිටියේ තයිවානයේ අනාගතය තීරණය කිරීමට චීනයට කිසිදු අයිතියක් නොමැති බවයි.

තායිවානයේ අනාගතය තීරණය කළ හැක්කේ එරට වෙසෙන මිලියන 23ක් වන ජනතාවට පමණක් බවද අමාත්‍යාංශය අවධාරණය කළේය.