September 1, 2026

තායිවානයේ පුද්ගලයකු තම බිරිඳගේ අනියම් සබඳතාව තහවුරු කරගැනීම සඳහා රොබෝ වැකුම් ක්ලීනරයක් (Robot Vacuum Cleaner) භාවිත කර සාක්ෂි ලබාගෙන සිවිල් නඩුවකින් ජයග්‍රහණය කර ඇති නමුත්, පසුව ඇගේ පෞද්ගලිකත්වයට හානි කිරීමේ වරදට සිරදඬුවමකට ලක්ව තිබේ.

දේශීය මාධ්‍ය වාර්තා කළ මෑතකදී නිකුත් වූ අධිකරණ තීන්දුවකට අනුව, අනන්‍යතාව හෙළි නොකළ මෙම පුද්ගලයා 2021 වසරේදී විවාහ වී ඇත. මෙම යුවළ සැමියාගේ දෙමාපියන් සමඟ ජීවත් වී ඇති අතර ඔවුන් නිවාඩු නිකේතනයට ගොස් ඇත්තේ නිවාඩු දිනවලදී පමණි.

2023 සැප්තැම්බර් මාසයේදී, නිවාඩු නිකේතනයේ තිබී වෙනත් අයකු භාවිත කළ දත් බුරුසුවක් සොයාගැනීමත් සමඟ සැමියාගේ සැකය තීව්‍ර වී ඇත. පසුව රථගාලේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී, මීට පෙර සිය බිරිඳව නිවසට ඇරලවා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකු හඳුනා ගැනීමට ඔහුට හැකි විය.

මාස තුනකට පසු, සිය ජංගම දුරකථන යෙදවුම ඔස්සේ නිවසේ තිබූ රොබෝ වැකියුම් ක්ලීනරය දුරස්ථව ක්‍රියාත්මක කර ඇත්තේ එහි ඇති ශ්‍රව්‍ය තාක්ෂණය ඔස්සේ බිරිඳ සමඟ කතාබහ කිරීමේ අරමුණිනි.

කෙසේ වෙතත්, එහි සජීවී දර්ශන ඔස්සේ ඔහුගේ බිරිඳ වෙනත් පිරිමි පුද්ගලයකු සමඟ සමීපව සිටින අයුරු සටහන් විය. නීතිමය පියවර ගැනීම සඳහා සාක්ෂි රැස්කිරීමේ අරමුණින් ඔහු මෙම දර්ශන පටිගත කිරීමට පටන් ගත්තේය.

ඉන් අනතුරුව, සිය විවාහක අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධයෙන් බිරිඳට සහ ඇගේ අනියම් පෙම්වතාට එරෙහිව නඩුවක් පැවරූ සැමියා, තායිවාන ඩොලර් මිලියන 2ක (ඇමරිකානු ඩොලර් 68,000ක) වන්දියක් ඉල්ලා සිටීමට මෙම වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස ඉදිරිපත් කළේය.

එම දෙදෙනා අතර පැවැති සබඳතාව සාමාන්‍ය මිතුදමක සීමාවන් ඉක්මවා ගොස් ඇති බව තීරණය කළ අධිකරණය, සැමියා වෙත තායිවාන ඩොලර් 500,000ක වන්දියක් ගෙවන ලෙස අදාළ යුවළට නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම සිවිල් නඩුවේ ජයග්‍රහණය හමුවේ වුවද සාක්ෂි ලබාගත් ආකාරය සම්බන්ධයෙන් වූ නීතිමය බලපෑම්වලින් මිදීමට සැමියාට නොහැකි විය.

තමාගේ එකඟතාවයකින් තොරව පෞද්ගලික දර්ශන පටිගත කළ බවට චෝදනා කරමින් බිරිඳ පසුව ඔහුට එරෙහිව ප්‍රති-නඩුවක් පවරන ලදී. සිවිල් අධිකරණය විසින් මෙම වීඩියෝ දර්ශන සාක්ෂි ලෙස පිළිගෙන තිබූ බැවින් සිය ක්‍රියාව “නීත්‍යනුකූලව සාධාරණීකරණය කළ හැකි” බවට සැමියා තර්ක කළේය.

එසේ වුවද, ඔහුගේ එම තර්කය ප්‍රතික්ෂේප කළ අධිකරණය, පුද්ගලයකුගේ පෞද්ගලිකත්වයට ඇති අයිතියට වඩා විවාහක වගකීම් ඉහළින් නොපවතින බවට තීන්දු කළේය. එමෙන්ම මෙම පටිගත කිරීම චේතනාන්විතව සිදුකරන ලද්දක් බව ද අධිකරණය නිගමනය කළේය.

තවද, රොබෝ වැකියුම් ක්ලීනරයේ ඇති සංඥා ආලෝකයන් හෝ ශ්‍රව්‍ය අනතුරු ඇඟවීම් මඟින්, තමා පටිගත වන බවට බිරිඳ දැනුවත්ව සිටි බව හෝ ඒ සඳහා ඇගේ එකඟතාව ලැබී තිබූ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවන බව ද තීන්දු විය.

ඒ අනුව, පෞද්ගලික දර්ශන නීති විරෝධී ලෙස පටිගත කිරීමේ වරදට එම පුද්ගලයාට අවසානයේ මාස පහක සිරදඬුවමක් සහ තායිවාන ඩොලර් 150,000ක දඩයක් නියම විය.

තායිවාන නීතියට අනුව, අවසරයකින් තොරව වෙනත් අයකුගේ පෞද්ගලික ක්‍රියාකාරකම් හෝ සංවේදී තොරතුරු රහසිගතව පටිගත කිරීම හෝ හෙළිදරව් කිරීම වසර තුනක් දක්වා සිරදඬුවමකට සහ තායිවාන ඩොලර් 300,000 දක්වා වූ දඩයකට යටත් විය හැකි වරදකි.

මෙම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක්ව තිබේ.