September 8, 2026

ඩුබායි සිට මෙරටට ගෙන්වන ලද ලලිත් නොහොත් ‘බස් ලලිත්’ කන්නංගර නමැති පුද්ගලයාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හංවැල්ල, දිද්දෙනිය පොදු සුසාන භූමියේ සඟවා තිබූ ටී-56 ගිනිඅවියක්, පිස්තෝලයක් සහ රිපීටර් ෂොට්ගන් වර්ගයේ අවියක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) සොයාගෙන තිබේ.

බස් ලලිත් විසින් විදේශගතව සිට සිය ගෝලයන් ලවා හංවැල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සිදුකළ මිනිස් ඝාතන, වෙඩිතැබීම් සහ බියගැන්වීම් සඳහා මෙම ගිනිඅවි යොදාගන්නට ඇති බවට පොලිසිය සැකකරයි. එම සැකය තහවුරු කරගැනීම සඳහා අදාළ ගිනිඅවි තොගය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට නියමිතය.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් ලලිත්ගේ මෙහෙයවීමෙන් හංවැල්ල සහ ඒ අවට ප්‍රදේශවල මිනිස් ඝාතන 06ක් සිදුව ඇති බවයි. මීට අමතරව එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් 21 දෙනෙකුගෙන් මොහු විසින් කප්පම් ලබාගෙන ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.

ඩුබායිහි සිටියදී මොහුට මෙරට සිට අපරාධ සඳහා සහයෝගය දැක්වූ සගයන් රැසකගේ තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.