May 26, 2026

Vivid Sydney ආලෝක සංදර්ශනයට සමගාමීව පැවැත්වුණු ගුවන් ඩ්‍රෝන යාත්‍රා ප්‍රසංගයක් අතරතුර, ඩ්‍රෝන යාත්‍රා 90ක් පමණ එකවරම අහසින් සිඩ්නි හි ඩාර්ලින් වරායට කඩා වැටී තිබේ. මෙම අනතුර හේතුවෙන් එදින රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවන සංදර්ශනය ද අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 7.30ට පැවැත්වුණු Star-Bound නම් මෙම ඩ්‍රෝන සංදර්ශනය අතරතුර නොසිතූ තාක්ෂණික දෝෂයක් මතු වූ බවත්, ඒ හේතුවෙන් ඩ්‍රෝන යාත්‍රා 89ක් ඩාර්ලින් වරායේ කොක්ල් බොක්ක වෙත කඩා වැටුණු බවත් Vivid Sydney සංවිධායකයින් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, මෙම අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැත.

මෙම සිදුවීමත් සමඟ, ක්‍රියාකරුවන්ට සම්පූර්ණ තාක්ෂණික සහ ආරක්ෂක සමාලෝචනයක් සිදු කිරීමට අවස්ථාව ලබා දීම සඳහා පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට තිබූ සංදර්ශන හතරක් අවලංගු කර ඇත.

සංදර්ශනය මෙහෙයවූ Skymagic සමාගම පැවසුවේ, ඩ්‍රෝන යාත්‍රා ගුවන්ගත කිරීමෙන් පසුව ගුවන්විදුලි සංඛ්‍යාත පරිසරයේ සිදු වූ බලාපොරොත්තු නොවූ වෙනස් වීමක් හේතුවෙන් මෙම තාක්ෂණික දෝෂය හටගත් බවයි.

“මෙම අසාමාන්‍ය තත්ත්වය නිසා ඩ්‍රෝන යාත්‍රා කිහිපයක පිහිටීමේ නිරවද්‍යතාව ගිලිහී ගිය අතර, ඊට ප්‍රතිචාර වශයෙන් එම යාත්‍රා ස්වයංක්‍රීයවම ආරක්ෂිතව ගොඩබැස්වීමේ ක්‍රියාවලිය ආරම්භ කළා,” යනුවෙන් සමාගම සඳහන් කළේය.

“මෙම ගැටලුව මතු වූ වහාම නියමු කණ්ඩායම විසින් ඩ්‍රෝන සියල්ලම අහසේ එකම තැනක රඳවා තැබීමේ නියෝගයක් ක්‍රියාත්මක කළා. ඒ හරහා ගැටලුව ආරක්ෂිතව ඇගයීමට ලක් කිරීමට ඔවුන්ට කාලය ලැබුණා. ඉන්පසු තත්ත්වය ස්ථාවර බව තහවුරු කරගත් පසු, කිසිදු බලපෑමක් එල්ල නොවූ ඉතිරි ඩ්‍රෝන යාත්‍රා return to home පියවර මඟින් ආරක්ෂිතව බිමට ගෙන්වා ගැනීමට කණ්ඩායම කටයුතු කළා.” යනුවෙන් ද සමාගම නිවේදනය කර තිබේ.

ස්කයිමැජික් සමාගම වැඩිදුරටත් අවධාරණය කළේ කඩා වැටුණු හෝ ඉතිරි වූ කිසිදු ඩ්‍රෝන යාත්‍රාවක් සංදර්ශනය සඳහා වෙන්කර තිබූ ආරක්ෂිත සීමාවෙන් පිටතට නොගිය බවයි.