November 12, 2026

ගෘහාශ්‍රිත සංචාරක (Home-stay) ක්ෂේත්‍රයේ සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා රුපියල් බිලියන 7.5 ක මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන යටතේ, නිවාස ආශ්‍රිත සංචාරක නවාතැන් පහසුකම් ස්ථාපිත කිරීමට හෝ ඒවා පුළුල් කිරීමට අපේක්ෂා කරන සුදුසුකම් ලත් ව්‍යවසායකයන් සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

ඒ අනුව, 3% ක වාර්ෂික අඩු පොලී අනුපාතයක් යටතේ රුපියල් මිලියන 2 ක් දක්වා වූ ණය මුදලක් ලබා ගැනීමට ව්‍යවසායකයින්ට අවස්ථාව හිමි වේ.

රට තුළ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමේ සහ ග්‍රාමීය මට්ටමින් ස්වයං රැකියා හා කුඩා පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

අඩු පොලී යටතේ ලැබෙන මෙම ණය ආධාර හරහා සංචාරකයන්ට උසස් තත්ත්වයේ නවාතැන් පහසුකම් සැපයීමට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමටත්, දේශීය ආර්ථිකයට නව ජවයක් එක් කිරීමටත් හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙමඟින් සංචාරක කර්මාන්තයට සම්බන්ධ වන නවක ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සාර්ථක කර ගැනීමට විශාල පහසුවක් වනු ඇත.