October 2, 2025

2021 දී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව රඳවා තබාගැනීමේ නියෝගයක් යටතේ තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් විසින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම 2026 මාර්තු 25 වන දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද පෙත්සම කැඳවූ බව වාර්තා සඳහන් කරයි.

මෙම පෙත්සම විභාගයට ගැනීම අතරතුර, පෙත්සම 2026 මාර්තු 25 වන දිනට කල්තබන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම හේතුවෙන් තම මූලික මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.