March 8, 2026

ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් ගිල්වන අවස්ථාවේ එය නිරායුධව තිබුණු බවට ඉරානය කරන ප්‍රකාශය එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානය ප්‍රතික්ෂේප කර තිබේ.

නෞකාව නිරායුධව සිටි බවට ඉරානයේ ප්‍රකාශය ‘අසත්‍ය’ බව සිය නිල සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන ලද නිවේදනයක එම විධානය පවසා තිබිණි.

සන්නද්ධ ගැටුම් නීතිය යටතේ වලංගු හමුදා ඉලක්කවලට එරෙහිව බලය යෙදවීමට අවසර දී ඇති බවත්, ඒ අනුව එක්සත් ජනපද හමුදා මෙහෙයුම සැලසුම් කර තිබූ බවත් එහි සඳහන් වේ.

සිද්ධියෙන් පසු දිවි ගලවා ගත් අයට සන්නද්ධ ගැටුම් නීතියට අනුකූලව ශ්‍රී ලංකාව ජීවිතාරක්ෂක සහාය ලබා දුන් බව ද විධානය සඳහන් කළේය.

එක්සත් ජනපදය විසින් ප්‍රකාශ කරන ලද ප්‍රහාරයකින් පසු මෙම සතිය මුලදී ඉරාන නාවික නෞකාවක් වන IRIS Dena ගාල්ල වෙරළට ඔබ්බෙන් ගිලී ගියේය.

සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාව සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර, පසුව බේරා ගත් නැවියන් පිරිසක් ප්‍රතිකාර සඳහා ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලදී.

ප්‍රහාරයෙන් ඉරාන නාවිකයන් 100කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබිණි.