July 31, 2023

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ආහාර හිඟයකට මුහුණ දීමට සූදානම් වෙමින් සිටී.

දැනට පවතින සහල් තොග සුරක්ෂිත කරගැනීම සහ රට තුළ ඇතිවිය හැකි ආහාර හිඟයකට මුහුණදීමේ පියවරක් ලෙස සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා සහල් භාවිතය අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ශුෂ්ක කාලගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාවේ බොහෝ කුඹුරුවලට අහිතකර ලෙස බලපා ඇති අතර ගොවීහු තම කුඹුරුවලට ජලය නොමැතිකම හේතුවෙන් නිසි අස්වැන්නක් ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.

විශේෂයෙන් උඩවලව ජලාශයේ ජලයෙන් යැපෙන කුඹුරු අක්කර 50,000 කට අධික ප්‍රමාණයක් අර්බුදයට ලක්ව ඇත.

උඩවලව ප්‍රදේශයේ ආසන්න වශයෙන් අක්කර 75,000ක ගොවිබිම් වගා කෙරෙන අතර, එම මුළු භූමි ප්‍රමාණයෙන් අක්කර 65,000ක් වී වගාව සඳහා කැප කර ඇත.

කෘෂිකාර්මික පවුල් 35,000කට අධික සංඛ්‍යාවක් ජීවත්වීම සඳහා මෙම කුඹුරු මත යැපේ.

යල කන්නයේ අස්වැන්න නුදුරේදීම නෙළා ගැනීමට නියමිත නමුත්, මෙම කුඹුරුවලට ප්‍රමාණවත් ජල ප්‍රමාණය ලැබෙන්නේ නැත.

උඩවලව ජලාශයට ඉහළින් පිහිටි සමනල වැවෙන් තම වී වගාව පෝෂණය කිරීමට සති දෙකක කාලයක් ජලය මුදාහරින ලෙස ඇඹිලිපිටිය ගොවීන් ඉල්ලා සිටින අතර, ඒ වෙනුවන් ඔවුන් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර අදට දින අටක් ගතවී ඇත.

කෙසේවෙතත් ගොවීන් ඉල්ලා සිටින පරිදි සමනල වැවේ ජලය උඩවලව ජලාශයට මුදා හැරියහොත් දකුණු පළාතට පැය තුනක විදුලිය කාලයක් විසන්ධි කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු අඟවයි.