November 17, 2026

වැඩි වැටුප් ගෙවා විදේශීය ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමෙන් වැළකී, දේශීය ශ්‍රම බලකායට ගුණාත්මක වැටුපක් ලබා දෙමින් ඔවුන් මෙරට සේවයේ යෙදවීම රට සංවර්ධනය කිරීම සඳහා ගත යුතු මූලික පියවරක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ සිදුවන්නේ අඩු වැටුප් හේතුවෙන් මෙරට ශ්‍රම බලකායෙන් විශාල පිරිසක් විදේශ රැකියා සොයා රටින් පිටව යාමත්, ඒ වෙනුවට මෙරට පවතින රැකියා අවස්ථා සඳහා ඇතැම් ආසියානු රටවලින් වැඩි වැටුප් යටතේ සේවකයින් ගෙන්වා ගැනීමත් බව මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේය.

මෙරට ශ්‍රම බලකායට වාර්ෂිකව ලක්ෂ තුනහමාරක පමණ පිරිසක් අලුතින් එක්වන නමුත්, ඉන් දෙලක්ෂ අසූදහසක් පමණ රටින් පිටවීමේ බරපතල ගැටලුවක් නිර්මාණය වී ඇති බව රවී කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින් රට හැර යන ශ්‍රමිකයින් දිරිගන්වමින් ඔවුන් රට තුළ රඳවා ගැනීමට පියවර ගත යුතු බවත්, තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය දිරිගැන්වීම් සිදු කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් යෝජනා කළේය.