July 24, 2026

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ භූගත ජලාශයක් වන ‘නිල්දිය පොකුණ’ අවශ්‍ය ආරක්ෂිත පියවරයන් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මහජනතාව සඳහා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.

ආරක්ෂිත හේතූන් මත ඉකුත් 2025 දෙසැම්බර් 26 වැනිදා සිට මෙය තාවකාලිකව වසාදමා තිබූ අතර, එම දීර්ඝකාලීන වසාදැමීම නිසා ප්‍රදේශයේ සංචාරක මඟපෙන්වන්නන්, වෙළෙඳුන් සහ ත්‍රිරෝද රථ රියදුරන් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටියි.

කෙසේවෙතත්, රජයේ නියමිත නිර්ණායකයන්ට අනුව උමග තුළ සිටින පිරිස් සමඟ සන්නිවේදනයට ‘වෝකිටෝකි’ උපකරණ භාවිතය, උපදෙස් පුවරු සවිකිරීම, ආරක්ෂිත හිස්වැසුම් සහ කඹ ලබාදීමේ ස්ථාන පිහිටුවීම වැනි මූලික පියවර ගැනීමෙන් පසු සංචාරකයන්ට නැවත පැමිණීමට අවස්ථාව සැලසෙනු ඇත. මෙම ස්ථානය අඛණ්ඩව වසා තැබීමේ තීරණයක් නොමැති බවද නිලධාරීහු තහවුරු කරති.

මේ අතර, පරිසර අධිකාරියේ සහ වනජීවී කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් නිල්දිය පොකුණේ ජල සාම්පල පරීක්ෂාව සඳහා පැමිණි අවස්ථාවේදී යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. උමඟ තුළට යාම සඳහා එහි සිටි මඟපෙන්වන්නන් සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට බණ්ඩාරවෙල සහ ඇල්ල පොලිස් නිලධාරීන් ද කැඳවීමට සිදුවිය.

එම බාධා කිරීම් මැද වුවද නිලධාරීන් උමඟට බැස, පොකුණේ ස්ථාන 4කින් සාර්ථකව ජල සාම්පල ලබා ගැනීමට කටයුතු කර ඇත. මීට පෙරද ඇතැම් මඟපෙන්වන්නන් බලහත්කාරයෙන් පොකුණට බැසීමට උත්සාහ කිරීම නිසා ඊට ඇතුළුවීම තහනම් කරමින් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක්ද නිකුත් කර තිබිණි.