July 3, 2025

වනජීවී සංරක්ෂණ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු ජාතික සහ ප්‍රාදේශීය රාජ්‍ය ආයතනවලට හැකි ඉක්මණින් උතුර සහ නැගෙනහිර පළාත්වල රක්ෂිත මායිම් නැවත සලකුණු කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා ඇත්තේ, දශක කිහිපයක් සිට පදිංචිකරුවන් පීඩාවට පත් වූ උතුර-නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය විසඳීමට පියවර ගනිමින් සිටින බවයි.

ගැසට් කර ඇති ඇතැම් රක්ෂිත ප්‍රදේශවල රජයේ කාර්යාල, රෝහල් සහ නගරවල කොටස් පවා ඇතුළත් වන බවත්, එවැනි ඇතැම් ප්‍රදේශවල මිනිසුන් අවුරුදු 30 සිට 40 ක සිට ජීවත්ව සිටීමත් ගැටලුවක් වී ඇතැයි ද ඔහු පවසයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ, අවස්ථාවල සිවිල් ජනතාව භාවිත කරන ඉඩම් පැහැදිලිව සලකුණු කර සීමා මායිම් නොමැතිව වනාන්තර හෝ වනජීවී රක්ෂිතවලට ඇතුළත් කර ඇති බවයි.

එවැනි ගැටලු විසඳීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් සහ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු එක්ව මෙම රක්ෂිතවල සැබෑ මායිම් නිර්ණය කිරීමට කටයුතු කරන ලෙසත්, පසුව අදාළ ගැසට් නිවේදන යාවත්කාලීන කිරීමට පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී ඇති බව ද ඔහු පවසා ඇත.