June 11, 2026

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේදී සිදුකරන ලද නවතම දීපව්‍යාප්ත වන අලි සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාවේ වන අලි ගහණය 7,451ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි ප්‍රකාශ කළේය.

මෙම සමීක්ෂණ වාර්තාවේ සොයාගැනීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පසුගිය දශක තුනක කාලය තුළ පවත්වන ලද අලි සංගණන සමඟ සැසඳීමේදී මෙරට වන අලි ගහණයේ කැපීපෙනෙන වර්ධනයක් මෙම නවතම සමීක්ෂණයෙන් පෙන්නුම් කරන බවයි.

නිල වාර්තාවලට අනුව, 1993 වසරේදී ශ්‍රී ලංකාවේ වන අලි ගහණය 1,967ක් ලෙස සටහන්ව තිබේ.

ඉන් අනතුරුව 2011 වසරේදී පවත්වන ලද අලි සංගණනයේදී දිවයින පුරා වන අලින් 5,879 දෙනෙකු වාර්තා වී තිබේ.

“2024 අලි සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ අවම වශයෙන් වන අලින් 7,451 දෙනෙකු සිටින බව වාර්තා වී තිබෙනවා. ඒ අනුව වන අලි ගහනය සියයට 26.7ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා” යැයි අමාත්‍ය පටබැඳි පවසයි.

එසේම, මෙරට වෙසෙන දළ ඇතුන්ගේ සංඛ්‍යාව ද සියයට 9.2කින් ඉහළ ගොස් ඇති බව පෙන්වාදෙන අමාත්‍යවරයා, එය දළ සහිත අලි ගහණයේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන්නක් බව ද සඳහන් කරයි.

“දළ ඇතුන්ගේ ගහණය සියයට 9.2කින් ඉහළ ගොස් තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත්කල ශ්‍රී ලංකාවේ අලි ගහණයේ පැහැදිලි වර්ධනයක් අපට දැකගත හැකියි,” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.