June 17, 2026

චෙක් ජනරජයේ පැවැති ‘ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික්’ (Ostrava Golden Spike) මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ඒ අනුව ඔහු තමන්ගේ කැපීපෙනෙන අන්තර්ජාතික තරග වාරය තවදුරටත් සාර්ථකව ඉදිරියට රැගෙන යෑමට සමත්ව තිබේ.

මෙහිදී ප්‍රබල අන්තර්ජාතික ක්‍රීඩකයන් රැසක් පසුපසට ඇදදමමින්, මීටර 86.57ක දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට තරංග සමත් විය.

රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර 92.62ක ලෝක ප්‍රමුඛතම දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනාගෙන සති දෙකක් ගතවීමටත් මත්තෙන් ඔහු මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

මෙමඟින් ලොව ප්‍රමුඛතම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයකු ලෙස තමා සතු ස්ථානය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔහුට හැකි වී තිබේ.

23 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා 2026 වසරේදී අන්තර්ජාතික තරග බිමේ අඛණ්ඩව පදක්කම් දිනාගනිමින් සුවිශේෂී දක්ෂතා අතරට පිවිසි තරග වාරයක් අත්විඳිමින් සිටියි.