April 27, 2026

ජපානයේ අරමුදල් සහිතව පුත්තලම ප්‍රදේශයේ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වේගවත්ව ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

2027 වසර වන විට එම අධි තාක්‍ෂණික පද්ධතිය ක්‍රියාත්මක වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පැහැදිලි කළේ රේඩාර් පද්ධතිය කිලෝමීටර් 450ක අරයක් ආවරණය කරන අතර එම පරාසය තුළ කාලගුණ රටා පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු සපයන බවයි.

මෙම පද්ධතිය පැය දෙකකට පෙර වර්ෂාපතන තීව්‍රතාව පිළිබඳ අනාවැකි පළ කිරීමට ඉඩ සලසන බව ඔවුහු සඳහන් කළහ.

පුත්තලමේ ස්ථාපනය කෙරෙන ඩොප්ලර් රේඩාර් පද්ධතිය මගින් ශ්‍රී ලංකාවෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දකුණු මුහුදු කලාපයේ තවත් පද්ධතියක් ස්ථාපනය කළහොත්, දෙපාර්තමේන්තුවට මුළු රටම ආවරණය වන පරිදි ඉතා නිවැරදි අනාවැකි ලබා දිය හැකි බව නිලධාරීන්ගේ අදහසයි.

කාලගුණික තත්ත්වයන් පුරෝකථනය කිරීමේ නිරවද්‍යතාව හේතුවෙන් ඩොප්ලර් රේඩාර් තාක්ෂණය ලොව පුරා බහුලව භාවිත වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ මෙම ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා අංශය සඳහා සන්ධිස්ථානීය ජයග්‍රහණයක් බවයි.

කාලගුණික විපත් පිළිබඳ ජනතාවට පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට එමගින් දෙපාර්තමේන්තුවට හැකි වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

“වර්තමානයේ අපි වර්ෂාපතනය මැන ගන්නේ මිනුම් උපකරණ භාවිත කර භාවිතයෙන්. වර්ෂාවෙන් පසුව තමයි දත්ත නිකුත් කරන්නේ, නමුත් ඩොප්ලර් පද්ධතිය වර්ෂාපතනය ආරම්භ වීමට පෙර නිවැරදි දත්ත සපයන නිසා අපට කාලෝචිත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට සහ ආපදාවල බලපෑම අවම කරගන්න පුළුවන් වෙයි” යනුවෙන් ඔහු පැවසීය.

දැනට අසල්වැසි රටවලින් ලැබෙන අනාවැකි තම දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන බවත් නව රේඩාර් පද්ධතිය මඟින් ශ්‍රී ලංකාවට ස්වාධීනව වඩාත් විශ්වාසදායක අනාවැකි පළ කිරීමට ඉඩ සැළසෙන බවත් ඔහු පැවසීය.