June 24, 2026

රජයේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය සහ ඛනිජ ගවේෂණ හා කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී දැඩි කනස්සල්ල පළ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ගවේෂණ බලපත්‍ර ලබාගත් සමාගම්, පසුව එම බලපත්‍ර උපයෝගී කරගනිමින් විදේශීය කොටස් වෙළඳපොළවල ලැයිස්තුගත වී ඇතිද යන්නයි.

එමෙන්ම ඔවුන් ලංකාවට ඉතා සීමිත ප්‍රතිලාභ පමණක් ලබාදෙමින් ප්‍රාග්ධනය රැස් කිරීමට, ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට හෝ අයිතිවාසිකම් වෙනත් පාර්ශවයන්ට පැවරීමට කටයුතු කර තිබේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කළේය.

මෙම කැණීම් ව්‍යාපෘති හරහා රජයට ලැබී ඇති ආදායම, සිදුකර ඇති පාරිසරික ඇගයීම් වාර්තා, දැනට අනුමැතිය අපේක්ෂාවෙන් පවතින බලපත්‍ර අයදුම්පත් සහ වාකරේ, තිරුක්කෝවිල් මෙන්ම අක්කරපත්තුව වැනි ප්‍රදේශවල ප්‍රාදේශීය ජනතාව මතු කර ඇති ගැටලු පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී රජයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියේය.

මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදි, මෙම පාර්ලිමේන්තු සභා වාරයේදී ඊට පිළිතුරු දීමට විෂයභාර අමාත්‍යවරයා අපොහොසත් වී ඇති අතර, ඒ සඳහා සති දෙකක කාලයක් ඉල්ලා තිබේ.

තවදුරටත් නව බලපත්‍ර නිකුත් කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත්වලින් සැබෑ ලෙසම ප්‍රතිලාභ ලබන්නේ කවුද යන්න සහ එමගින් ලැබෙන ආර්ථික ලාභය දේශීය ප්‍රජාවට විඳීමට සිදුවන පාරිසරික හා සමාජීය හානියට සාපේක්ෂව සාධාරණද යන්න දැනගැනීමට මහජනතාවට අයිතියක් ඇති බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.