July 19, 2026

‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සමප්‍රවේශයක්’ පරිච්ඡේදයට අනුව, සැමට සමාන අවස්ථා හිමි වන සමාජයක් බිහිකිරීමේ රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය’ ත්‍රිකුණාමලය, කින්නියා, නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී පසුගියදා (17) විවෘත කෙරිණි.

විෂය භාර අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර යන අයගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා අයිතියට පත්විය.

දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනි මධ්‍යස්ථාන 25ක් ඉදිකිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

එහි පළමු අදියර ලෙස 2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 250ක වියදමින් දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යස්ථාන 10ක් ඉදිකෙරෙන අතර, කින්නියා හි විවෘත වූයේ එහි පළමුවැන්නයි.

ආබාධ සහිත දරුවන්ගේ කායික, මානසික, දෛනික සහ පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධනය වෙනුවෙන් ඉදිකළ මෙම මධ්‍යස්ථානය නවීන තාක්ෂණික පන්ති කාමර, සංවේදී කාමර, ළමා උද්‍යාන, උපදේශන සේවා, භෝජනාගාරයක් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතය. කින්නියා හි ජීවත් වන ආබාධ සහිත දරුවන් 100 දෙනෙකුට පමණ මෙයින් සේවා සැපයිය හැකි අතර, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් මඟින් දරුවන් ප්‍රවාහනය කිරීමටද සැලසුම් කර ඇත.

මධ්‍යස්ථානය සඳහා දෛනික පදනමින් සේවය කිරීමට පෙරපාසල් ගුරුවරුන්, සාත්තු සේවිකාවන් සහ කාර්යාල සහයකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ ජාති, ආගම්, භාෂා හෝ ආබාධිතභාවය නොසලකා සියලු පුරවැසියන්ගේ ජීවිත සුබදායී කිරීම රජයේ අරමුණ බවයි. සමාජ සේවයේදී “සහකම්පනය” (Empathy) පෙරදැරි කරගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, ලබන වසරේ තවත් මධ්‍යස්ථාන 15ක් ආරම්භ කරමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය කිරීමට රජය ඉලක්ක කරයි. මීට අදාළ මාර්ගෝපදේශන ඇතුළත් කෙටුම්පත අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක විසින් මෙහිදී පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීහු, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.