June 6, 2026

පසුගිය ජුනි 3 වැනිදා ජැමෙයිකාවේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු එක්දින අන්තර්ජාතික තරගයේදී නියමිත කාලය තුළ පන්දු වාර යවා නිමනොකිරීම (Slow Over-rate) හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් පනවා තිබේ.

තරගයේ කාල දීමනාවන් සැලකිල්ලට ගැනීමෙන් පසුව ද කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඉලක්කයට වඩා පන්දු වාර දෙකක් (02) පසුපසින් සිටින බව තීරණය කිරීමෙන් අනතුරුව, අයි.සී.සී. තරග තීරක රිචී රිචඩ්සන් විසින් මෙම දඩය නියම කර ඇත.

ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී. හැසිරීම් පද්ධතියේ 2.22 වගන්තියට අනුව (අවම පන්දු වාර වේගය උල්ලංඝනය කිරීම), නියමිත කාලය තුළ පන්දු වාරයක් යැවීමට අපොහොසත් වන සෑම පන්දු වාරයක් සඳහාම ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් පැනවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර දෙකක් ප්‍රමාද වීම නිසා මෙලෙස 10% ක දඩයකට මුහුණ දී ඇත.

නායක කුසල් මෙන්ඩිස් මෙම වරද පිළිගෙන ඇති අතර, පනවන ලද දඩුවම ද අනුමත කළ බැවින්, මේ පිළිබඳව නිල විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය වී නැත.

පිටිය මැද විනිසුරුවන් ලෙස කටයුතු කළ ලෙස්ලි රීෆර් සහ වේන් නයිට්ස්, තෙවැනි විනිසුරු අල්ලාහුදීන් පාලේකර් සහ සිව්වැනි විනිසුරු ක්‍රිස්ටෝපර් ටේලර් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙම චෝදනාව එල්ල කර තිබේ.