July 22, 2026

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය 2026 හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයේ (Henley Passport Index) 94 වැනි ස්ථානය දක්වා සිය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති අතර, මෙය මෑත වසරවලදී එය වාර්තා කළ ඉහළම ස්ථානයයි.

අලුත්ම ශ්‍රේණිගත කිරීම්වලට අනුව, 2024 සහ 2025 යන වසර දෙකෙහිම 96 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙවර ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ ඇත.

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය 2021 වසරේදී 107 වන ස්ථානයේ ද, 2022 වසරේදී 102 වන ස්ථානයේ ද, 2023 වසරේදී 100 වන ස්ථානයේ ද පසුවිය.

හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකය මගින් ගුවන් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කරනු ලබන්නේ පූර්ව වීසාවකින් තොරව අදාළ ගමන් බලපත්‍ර හිමියන්ට ප්‍රවේශ විය හැකි ගමනාන්ත සංඛ්‍යාව පදනම් කරගනිමිනි.

මෙම 2026 දර්ශකයේ ද ප්‍රමුඛතම ස්ථානය රඳවාගැනීමට සිංගප්පූරු ගමන් බලපත්‍රය සමත් වී ඇති අතර, එය ලොව බලවත්ම ගමන් බලපත්‍රය ලෙස තේරී පත්ව ඇත.

මේ අතර, ඇෆ්ගනිස්ථානය මෙම ශ්‍රේණිගත කිරීම්වල 104 වන ස්ථානය ලබා ගනිමින් සටහනෙහි අවසාන ස්ථානයට පත්ව තිබේ.

වීසා බලපත්‍ර රහිතව ප්‍රවේශ වීමේ හැකියාව මත පදනම්ව, ගමන් බලපත්‍රවල බලය සහ අන්තර්ජාතික සංචරණ හැකියාව පිළිබඳ ගෝලීය සංසන්දනයක් සපයන මෙම දර්ශකය සඳහා ගමන් බලපත්‍ර 199 ක් සහ සංචාරක ගමනාන්ත 227 ක් ඇතුළත් කර ඇත.