June 1, 2026

ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි, කොයියම්බේදු ප්‍රදේශයේ මත්පැන් හලක් තුළ හටගත් ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ අනතුරකින් 18 හැවිරිදි ශ්‍රී ලාංකික දෙමළ සරණාගත තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉකුත් මැයි 31 වැනි ඉරිදා අලුයම මෙම ඛේදවාචකය සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් හත්දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විමර්ශනවලට අනුව, ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ කොයියම්බේදු ප්‍රදේශයේ පිහිටි මත්පැන් හලක් තුළ කණ්ඩායම් දෙකක් අතර බහින්බස්වීමක් හටගෙන ඇත.

එහි ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී දෙපාර්ශවයම පරිශ්‍රයෙන් පිටතට ඇදදමා ඇති නමුත්, ඔවුන් අතර පැවති ආරවුල මහමඟදී ද දිගින් දිගටම ඇදීගොස්වී තිබේ.

මියගිය තරුණියගේ මිතුරන් පිරිසක් යතුරුපැදිවලින් පැමිණ, පහරදුන් අනෙක් කණ්ඩායම ගමන් කළ මෝටර් රථයකට ගල් ප්‍රහාර එල්ල කර එයට හානි සිදුකර ඇත.

එයින් කුපිත වූ මෝටර් රථයේ රියදුරු වූ සුමන් සක්තිවේල් නමැත්තා, පළිගැනීමක් වශයෙන් සිය මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර යතුරුපැදිවල හිතාමතාම සිය ව්වහනය ගැටෙන්නට සලස්වා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම මාරාන්තික රිය අනතුරෙන් ‘යාන්සි’ නමැති 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණිය යතුරුපැදියෙන් විසිවී ගොස් ඇති අතර, ඇයගේ හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් ඇය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඇය සමඟ යතුරුපැදියේ ගමන් කළ 17 හැවිරිදි තවත් තරුණියක බරපතළ තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සිද්ධියෙන් පසු වහාම ක්‍රියාත්මක වූ කොයියම්බේදු පොලිසිය, ප්‍රදේශයේ සවිකර තිබූ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක්කරමින් පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

ඒ අනුව, අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි බාලකුමාර් නොහොත් ‘බාලගුරු’ නමැත්තා ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

තමා සමඟ සිටි සුමන් සක්තිවේල් නමැත්තා විසින් රථය පදවාගෙන ගොස් මෙම අනතුර සිදුකළ බව ඔහු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මේ වන විට සිද්ධියට සෘජුවම සම්බන්ධ සැකකරුවන් හත්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තමිල්නාඩු පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.