March 11, 2025

කැනඩාවේ ඔන්ටාරියෝ හි මාර්කාම් ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් 20 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් තවත් පිරිමි පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම නිවස ඉලක්ක කර පසුගිය වසරේදී ද කිහිප අවස්ථාවකදී වෙඩිතැබීම් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ අධිවේගී මාර්ග අංක 48 සහ කාසල්මෝර් ඇවනියු අසල සොලේස් පාරේ පිහිටි නිවසක බව යෝර්ක් ප්‍රාදේශීය පොලිසිය පවසයි.

අදාළ ස්ථානයට පැමිණි නිලධාරීන්ට වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාව සහ පිරිමි පුද්ගලයා හමුවී ඇති අතර, එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 20 හැවිරිදි නිලක්ෂි රගුතාස් නමැති කාන්තාවකි.

පොලිසිය පවසන පරිදි රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබේ.

අනෙක් වින්දිතයා වන 26 හැවිරිදි පුද්ගලයා බරපතල නමුත් ජීවිතයට තර්ජනයක් නොවන තුවාල සහිතව රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි සුනඛයකු ද මියගොස් ඇතැයි වාර්තා වේ.

පොලිසිය පවසන්නේ, සැකකරුවන් දෙදෙනෙකු Acura TLX සෙඩාන් වර්ගයේ රථයකින් නිවසින් පිටවී වේගයෙන් යන අයුරු සීසීටීවී දර්ශන මගින් පෙන්නුම් කරන බවයි.

වෙඩිතැබීම් සම්බන්ධයෙන් පසුගිය වසරේ ඇමතුම් තුනක් ඇතුළුව 2018 සිට මීට පෙර අවස්ථා 05 කදී එම නිවසින් ලද පැමිණිලි අනුව පොලිසිය එහි ගොස් තිබේ.

එම අවස්ථාවලදී සැකකරුවන් වෙඩිතබා තිබුණේ දුරස්ථ ස්ථානවල සිට බව ද පොලීසිය පවසයි.

මීට පෙර එම සිද්ධීන් සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.