November 25, 2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අජ්මාන් හිදී අද (25) පැවැති අවසන් මහා තරගයේදී අයර්ලන්තය කඩුලු 6කින් පරාජය කරමින් 2026 ICC කාන්තා නැගීඑන ජාතීන්ගේ කුසලානය (ICC Women’s Emerging Nations Trophy 2026) දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ප්‍රබල දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්තය පන්දුවාර 19.3කදී ලකුණු 96කට සීමාකළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් පන්දු 44ක් ඉතිරිව තිබියදී පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට නායකත්වය දුන් සත්‍යා සංදීපනී සිය පන්දුවාර 4 තුළදී ලකුණු 13කට කඩුලු 4ක් දවාගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූවාය.

චේතනා විමුක්ති, සුගන්ධිකා කුමාරි, නිමාෂා මීපගේ සහ කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 27කදී ලකුණු 25ක් රැස්කළාය.

පිළිතුරු ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඉමේෂා දුලානි හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් පන්දු 25කදී නොදැවී ලකුණු 44ක් රැස්කළ අතර, සංජනා කාවින්දි පන්දු 22කදී ලකුණු 25කින් දායකවූවාය.

නිලක්ෂිකා සිල්වා පන්දු 10කදී නොදැවී ලකුණු 16ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා රැගෙන ගියාය.

අයර්ලන්තය වෙනුවෙන් පන්දු යැවූ කියා මැකාට්නි සහ කාරා මරේ කඩුලු 2 බැගින් දවාගත්හ.

කඩුලු 6ක මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ICC කාන්තා නැගීඑන ජාතීන්ගේ කුසලානයේ ශූරියන් ලෙස කිරුළු පැළඳීය.