February 17, 2026

ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ පැවැති 39 වැනි සුරාජ්කුන්ඩ් (Surajkund Mela) ලෝක හස්ත කර්මාන්තකරුවන්ගේ ප්‍රදර්ශනයේදී රටවල් 53ක් අතරින් ‘හොඳම විදේශීය සම්මානය’ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ බතික් ශිල්පිනී ඉරේෂා චින්තනී ද සිල්වා සමත්ව තිබේ.

​පසුගිය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 15 වැනිදා දක්වා හරියානා හි පැවැති මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සඳහා ලොව පුරා විසිරී සිටින දක්ෂ හස්ත කර්මාන්තකරුවන් රැසක් සහභාගී වී තිබිණි.

එහිදී ශ්‍රී ලාංකික බතික් කලාවේ විශිෂ්ටත්වය විදහා දක්වමින් ඉරේෂා චින්තනී ඉදිරිපත් කළ නිර්මාණ අන්තර්ජාතික ඇගයීමට ලක්වූ අතර, ඒ අනුව ඇය මෙම ගෞරවනීය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

​මෙම අන්තර්ජාතික ජයග්‍රහණය ලැබූ ඉරේෂා චින්තනී ද සිල්වා ඇතුළු පිරිස ඊයේ (16) දිවයිනට පැමිණි අතර, ඔවුන් පිළිගැනීම සඳහා ජාතික ශිල්ප සභාව සහ කර්මාන්ත අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

​දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දක්ෂතා අන්තර්ජාතික තලයට ගෙන යමටත්, මෙරට බතික් කර්මාන්තයට නව ප්‍රබෝධයක් ලබා දීමටත් මෙම ජයග්‍රහණය මහත් පිටිවහලක් වනු ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය කියයි.