August 20, 2023

අඛණ්ඩව දින දෙකක් ආරක්ෂාව සැපයීම ගැටලුවක් වන බැවින් ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන යළිත් සංශෝධනය කරන ලෙස හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය ඉල්ලීමක් කර තිබේ.

ඔක්තෝබර් 9 වැනිදා පැවැත්වෙන නවසීලන්ත – නෙදර්ලන්ත තරගය සහ 10 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තරග සම්බන්ධයෙන් මෙම ගැටලුව උද්ගත ව ඇත.

හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ හයිද්‍රාබාද් පොලිසිය අඛණ්ඩව දින දෙකක් ආරක්ෂාව සැපයීමේ ගැටලුව පිළිබඳ මතු කළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි.

මෙම ගැටලුව මතු වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ පළමු අදියර ආරම්භ කිරීමට දින 5ක් පමණක් ඉතිරිව තිබියදීය.

එමෙන්ම කණ්ඩායම් හතරටම රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ප්‍රමාණවත් පුහුණුවක් ලබා ගත හැකිද යන්න අවිනිශ්චිත වී තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව ඔක්තෝබර් 7 වැනිදා දිවා රාත්‍රී තරගයක් දිල්ලි නුවරදී ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව ඔක්තෝබර් 8 වැනිදා හයිද්‍රාබාද් බලා පිටත් වේ.

පකිස්තානය සහ නෙදර්ලන්තය ඔක්තෝම්බර් 6 වැනිදා හයිද්‍රාබාද්හිදී ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන අතර, ඔවුන් දෙවැනි තරග සඳහා එහි රැඳී සිටිනු ඇත.

ඔක්තෝබර් 9 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව තරග වදින නවසීලන්තය, ඔක්තෝබර් 5 වැනිදා අහමදාබාද්හිදී එංගලන්තයට එරෙහිව තරගාවලියේ සමාරම්භක තරගයට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව හයිද්‍රාබාද් වෙත ළඟා වනු ඇත.

ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාව සත්කාරකත්වය දරන අතර, තරඟාවලියට දින 100ක් ඉතිරිව තිබියදී තරග කාල සටහන නිකුත් කෙරුණි.

කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසු තරග 9ක සැලසුම් යළි වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.

ගුජරාටය පුරා මහත් උද්යෝගයෙන් සමරනු ලබන නවරාත්‍රි උත්සවයේ පළමු දිනය වන ඔක්තොම්බර් 15 වෙනිදා අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයේදී ඉන්දීය-පකිස්තාන තරගය පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබුණද එම තරගය ඔක්තෝබර් 14 වැනිදාට ගෙන එනු ලැබුණි.

එසේම, බෙංගාලයේ ප්‍රධාන උත්සවයක් වන කාලි පූජාවට සමගාමීව නොවැම්බර් 12 වන දින පකිස්ථාන-එංගලන්ත තරඟය පැවැත්වීමට කොල්කටාව මීට පෙර සැලසුම් කර තිබුණි.

මෙම තරගය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට හැකි වන පරිදි තරග කාලසටහන සංශෝධනය කරනු ලැබීය.

ඒ අනුව කණ්ඩායම් සඳහා තරග පැවැත්වෙන නගර වෙත සංචාරය කිරීම, විවේකය සහ තරග අතර පුහුණුවීම් සඳහා සාධාරණ පරතරයක් ඇති බව සහතික කිරීම සඳහා තවත් තරග වෙනස් කිරීම අවශ්‍ය විය.