June 5, 2023

එක්සත් ජනපදයේ මේ වන විට පැතිරෙමින් තිබෙන HMPV නම් තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති, මාරාන්තික විය හැකි වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ සීරුවෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්යංශය ප්‍රකාශ කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි පවාන්නේ විදේශ රටක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බැවින් අමාත්‍යාංශය සැමවිටම සීරුවෙන් සිටින බවයි.

“එක්සත් ජනපදයේ පැතිර යන වෛරසය සම්බන්ධයෙන්, අපි තත්වය නිරීක්ෂණය කරමින් සිටිමු” ඔහු සඳහන් කරයි.

“එක්සත් ජනපදයෙන් පිටතට එය භයානක ලෙස පැමිණ නැති බැවින් ජනතාව කලබල විය යුතු නැහැ. කෙසේ වෙතත්, කොවිඩ්-19 වසංගතයේදී අප දුටු පරිදි එය දේශසීමාවෙන් ඔබ්බට පැතිරීමේ හැකියාව සැමවිටම පවතිනවා.” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් නිලධාරියෙක් පවසයි.

ප්‍රතිකාර සඳහා දැනට එන්නත් හෝ ප්‍රතිවෛරස් ඖෂධ නොමැති Human metapneumovirus හෝ HMPV නමැති වෛරස මාර්ගයෙන් වැළඳෙන ශ්වසන රෝගයක් අමෙරිකාව හදිසියේ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) හි වාර්තාවලට අනුව, වැඩිහිටියන්, කුඩා දරුවන් සහ දුර්වල ප්‍රතිශක්තිය ඇති පුද්ගලයන්ට මෙම වෛරස රෝගය හේතුවෙන් ඉහළ අවදානමක් පවතී.

වාර්තාවලට අනුව, වයිරසය ආසාදනය වූ රෝගීන් බහුතරයක් තමන් ආසාදිත බව දැන සිට නැත.

මෙහිදී වෛද්‍යවරුන්ට ගත හැකි එක් පියවරක් වන්නේ රෝගීන් මුහුණ දෙන රෝග ලක්ෂණ පාලනය කිරීම කෙරෙහි නැඹුරු වීම පමණි.

CDC පෙන්වාදී ඇත්තේ එය සියලුම වයස්වල පුද්ගලයන්ට ආසාදනය විය හැකි බවයි.

සාමාන්‍යයෙන්, HMPV වලින් පෙළෙන පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙම රෝග ලක්ෂණ මෘදු විය හැකි අතර දින පහක් දක්වා පැවතිය හැකිය.

CDC පවසන්නේ, දැනට Human metapneumovirus (HMPV) සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බවයි. එමනිසා, එය වැළැක්වීමේ මූලික ප්‍රවේශය වන්නේ කැස්ස හෝ කිවිසුම් යන විට මුඛය සහ නාසය ආවරණය කිරීම හා නිතර අත් සේදීම වැනි හොඳ සනීපාරක්ෂක පුරුදු භාවිත කිරීමයි.