June 21, 2025

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් සමග ඊශ්‍රායල ආරක්ෂක තත්ත්වය අනුව එරට තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට දී තිබෙන උපදෙස් යාවත්කාලින කර තිබේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසන්නේ ඊයේ දිනය පුරා, මධ්‍යම රාත්‍රියේ හා අද උදෑසන 02.35ට ද ඊශ්‍රායලයේ ප්‍රධාන නගර ඉල්ලා කරමින් ඉරාන බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයන් එල්ල වූ බවයි.

අදාළ ප්‍රහාරවලින් හයිෆා හා මධ්‍යම ටෙල් අවිව් කලාපවල ගොඩනැගිලි ගිනිගැනීම් වාර්තා වී තිබේ.

ඒ අනුව පෙරට වඩා බොහෝ නාගරික කලාපවල ජීවත්වන පිරිස් නිරන්තරයෙන්ම ආරක්‍ෂිත ස්ථානවල රැකවරණය ලැබීමට කටයුතු කෙරෙන බව ඔහු පෙන්වා දෙයි.

සිකුරාදා රාත්‍රියේ ඊශ්‍රායල භූමියෙන් පිටත උතුරු ඊශ්‍රායලයේ වෙරළට ඔබ්බෙන් ඉරානය විසින් එවන ලද ඩ්‍රෝන යානයක් ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ග්‍රහණයට ගෙන ඇති අතර හයිෆාහි අවම වශයෙන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බව තානාපතිවරයා පවසයි.

2025 ජූනි මස 20 වැනි දින එනම් ඊයේ ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ TABA දේශසීමා පිවිසුමෙන් ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට යෑමට පිටත්වූ හතර දෙනාගෙන් ඊශ්‍රායලයේ විසා නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇතැයි ද තානාපතිවරයා සඳහන් කරයි.

මේ පිළිබඳ දැන්වූ වහාම ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනවිරත්න ඊජිප්තු දේශසීමා හා ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඇත.

ඊශ්‍රායල විසා නොමැතිව ඊජිප්තුවට ඇතුල්වීමේ දී දීර්ඝ ප්‍රශ්නකිරීම් හා අත්අඩංගුවට ගැනීම පවා සිදුවන බැවින් හදිසි තත්ත්වය මත වුවද වීසා නොමැති හා වීසා කල් ඉකුත් වූ ශ්‍රී ලාංකිකයන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට පිටත් නොකෙරෙනු ඇති බව තානාපතිවරයා අවධාරණය කරයි.

එවැනි වලංගු විසා බලපතක් නොමැති පිරිසට ශ්‍රී ලංකාව බලා යෑමට ටෙල්-අවිව් අන්තර්ජාතික ගුවන් තොටුපළ විවෘත වනතුරු සිටිය යුතු බව ඔහු සඳහන් කරයි.

තම දරුවාගේ අභාවය හේතුවෙන් ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාවට ගමන් කළ ශ්‍රී ලාංකිකයා නිරුපද්‍රිතව ශ්‍රී ලංකාවට ගොස් ඔහුගේ දරුවාගේ අවසන් කටයුතු සඳහා ඊයේ සහභාගී වී ඇත.

ඊයේ දිනය තුළ තවත් දෙදෙනෙකු නැවත ශ්‍රී ලංකාව බලා පිටත්වීමට තානාපති කාර්යාලයට පැමිණ අදාළ ලියකියවිලි ලබා ගෙන තිබේ.

සතියක් පුරා ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකිව ආසන්න රටවල් රැදී සිටි ඊශ්‍රායල ජාතිකයන් බොහෝ දෙනෙකු සයිප්‍රස් හරහා මගී යාත්‍රාවලින් හා ඊශ්‍රායල් ජාතික ගුවන් සේවය මෙන්ම Akiya ගුවන් සමාගමේ යානා මගින් ඊයේ සිට ඊශ්‍රායලයට රැගෙන එන ලද බව තානාපතිවරයා සඳහන් කරයි.

ඊශ්‍රායලයේ සේවය කොට දැනට ශ්‍රී ලංකාවට නිවාඩු සඳහා ගොස් සිටින පිරිස් විදේශ කටයුතු අමාත්‍යංශයේ හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස තානාපතිවරයා ඉල්ලීමක් කරයි.

අද දින ඊශ්‍රායලයේ නිවාඩු දිනයක් වුවද ශ්‍රී ලංකාව බලා යෑමට අපේක්ෂා කරන පිරිස වෙනුවෙන් සේවා සැපයීමට තානාපති කාර්යාලය විවෘතව පවතින බව ඔහු සඳහන් කරයි.

ඉදිරි දිනවල ඊශ්‍රායලයේ නාගරික කලාප වෙත එල්ල කළ හැකි ප්‍රහාරයන් පිළිබඳ ඉතා විමසිලිමත්වන ලෙස හා රජය විසින් ලබා දෙන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ඔහු ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට දන්වා සිටී.