June 15, 2026

නෝර්වේ රාජකීය පවුල දැඩි අපහසුතාවයට පත් කරමින්, ඔටුන්න හිමි මෙට්-මරිට් කුමරියගේ වැඩිමහල් පුත්‍රයා වන මාරියස් බෝර්ග් හොයිබිට ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු කරමින් වසර 4ක සිරදඬුවමක් නියම කිරීමට ඔස්ලෝ අධිකරණයක් අද (සඳුදා) පියවර ගෙන තිබේ.

දැනට 29 වැනි වියේ පසුවන මාරියස්, මෙට්-මරිට් කුමරිය හා ඔටුන්න හිමි හාකොන් කුමරු විවාහ වීමට පෙර ඇයට සිටි පුත්‍රයාය. ඔහු තමන් නිවැරදිකරු බව පවසමින් චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට ඔහුට අවස්ථාව පවතී.

සති හතක් තිස්සේ ඇදී ගිය මෙම නඩු විභාගය මුළු නෝර්වේ රාජ්‍යයම කඩුල්ලෙන් කඩුල්ලට කැළඹීමට සමත් විය. මාරියස්ට එරෙහිව උපරිම වශයෙන් වසර 16ක සිරදඬුවම් පැමිණවිය හැකි චෝදනා 40ක් එල්ල වී තිබිණි.

නඩු විභාගයේදී මාරියස්ගේ දැඩි මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, ඔහු විසින්ම රහසිගතව පටිගත කරන ලද ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ පණිවිඩ 800කට වඩා වැඩි ප්‍රමාණයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරිණි.

එක් ස්ත්‍රී දූෂණයක් ඔටුන්න හිමි කුමරුගේ නිල නිවසේ බිම් මහලේදී සිදුවූවක් බව අධිකරණයේදී අනාවරණය විය.

2018 සහ 2024 අතර කාලයේදී කාන්තාවන් සිව්දෙනෙකු නිදා සිටියදී හෝ තමන්ව ආරක්ෂා කර ගැනීමට නොහැකි සිහියක් නොමැති තත්ත්වයක පසුවෙද්දී මාරියස් ඔවුන්ව දූෂණය කළ බවට චෝදනා එල්ල විය. කෙසේවෙතත්, ඉන් චෝදනා දෙකකට ඔහු වැරදිකරු වූ අතර අනෙක් දෙකෙන් නිදහස් විය. මීට අමතරව හිටපු පෙම්වතියකට හිංසනය සිදුකිරීම, තර්ජනය කිරීම සහ රථවාහන වැරදි සම්බන්ධයෙන් ද ඔහු වැරදිකරු විය.

පැමිණිල්ල පාර්ශවයෙන් ඔහුට වසර 7කුත් මාස 7ක සිරදඬුවමක් ඉල්ලා සිටි අතර, ඔවුන් ඔහුව හැඳින්වූයේ ‘තමන්ට ඕනෑම දෙයක් කළ හැකි යැයි සිතන මිනිසෙකු’ ලෙසයි. නමුත් මාරියස් තමන්ව මාධ්‍ය මඟින් ‘රාක්ෂයකු’ ලෙස චිත්‍රණය කරන බව පවසමින් විවේචනය කළේය.

කලක් නෝර්වේ ජනතාව අතර අතිශය ජනප්‍රියත්වයක් ඉසිලූ රාජකීය පවුලේ කීර්තිනාමයට මෙම කුප්‍රකට නඩු විභාගය නිසා දැඩි හානියක් සිදුව ඇත.

මීට පෙර ද ඔටුන්න හිමි කුමරිය, ප්‍රකට ලිංගික අපරාධකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සමඟ පැවැත්වූ මිත්‍රත්වය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටීමට ද සිදුවිය. මේ සියලු අර්බුද හමුවේ, නෝර්වේ රාජ්‍යය තුළ පවතින රජාණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට පක්ෂපාතීත්වය දැක්වූ ජනතා ප්‍රතිශතය 60% දක්වා වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

මේ අතර, ඔටුන්න හිමි මෙට්-මරිට් කුමරිය මේ දිනවල දරුණු පෙනහළු රෝගයකින් පෙළෙන අතර, ඇය පෙනහළු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා පොරොත්තු ලේඛනයක පසුවන බව ද වාර්තා වේ. පුත්‍රයාගේ මෙම නින්දිත ක්‍රියාව නිසා ඇය ශාරීරිකව මෙන්ම මානසිකව ද දැඩි පීඩනයකට ලක්ව සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.