May 2, 2024

දෙමළ අයිතීන් සඳහා වන අරගලය දිඅඛණ්ඩව පවතින බව යුද ගැටුම් පැවති සමයේ සාම සාකච්ඡා මැදිහත්කරුවකු ලෙස කටයුතු කළ නෝර්වීජියානු නියෝජිත එරික් සෝල්හයිම් ප්‍රකාශකර තිබේ.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ වසර 20කට පමණ පසු යළි යාපනයට පැමිණි අවස්ථාවේදීය.

යුද්ධය පැවති සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර සාම සාකච්ඡා පැවැත්වූ සෝල්හයිම් යාපනයට නැවත පැමිණීම තමාට ඉතා හැඟීම්බර වූ බව පවසා තිබේ.

“ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කාලයේ මම කිහිප වතාවක්ම ආවා. සිංහල සහ දෙමළ යන දෙපාර්ශ්වයේම මගේ හොඳ මිතුරන් බොහෝ දෙනෙක් ඝාතනයට ලක්වෙලා. විශාල දුකක් තියෙන්නේ. මම නැවත යාපනයට සහ කිලිනොච්චියට පැමිණි පළමු අවස්ථාව මෙයයි. මගේ මිත්‍ර නෝර්වීජියානු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමන්ෂු ගුලාටි සහ ProClime හි Kavin Kumar Kandasamy සමඟ සංචාරය කිරීම ඉතා හොඳ දෙයක්, ” යනුවෙන් ඔහු X සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය (ITAK) පක්ෂයේ නව නායක එස්.ශ්‍රීදරන් සමඟද නවතම දේශපාලන වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බව සෝල්හයිම් පවසා තිබේ.

ආධ්‍යාත්මික මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන සාම ක්‍රියාවලියේ සිටි තම පැරණි මිතුරකු වන ජේ මහේෂ්වරන් ද ඔහු හමුවී තිබේ.

“අපිට ආරාධනා කිරීම ගැන ආණ්ඩුකාර පීඑස්එම් චාල්ස්ට මම ස්තූතිවන්ත වෙනවා! උතුරු ශ්‍රී ලංකාව දැන් සාමකාමී,එය අපූරුයි. ආරක්ෂාව හොඳයි. කිසිවකුට නැවත යුද සමයට යෑමට අවශ්‍ය නැහැ”යනුවෙන් ඔහු පවසා ඇත.

කෙසේවෙතත්, දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් කිහිපයක් තවමත් ඉටු වී නොමැති බවත්, යුද්ධයේදී අතුරුදහන් වූ තම ආදරණීයයන්ට සිදු වූ දේ පිළිබඳ පවුල් දහස් ගණනක් තවමත් අඳුරේ සිටින බවත් සෝල්හයිම් පවසා තිබේ.

“ඉඩම් පැරණි අයිතිකරුවන්ට සම්පූර්ණයෙන්ම ලබා දී නැහැ. ඓතිහාසික ආගමික ස්ථාන සහ විහාරස්ථාන පිළිබඳ ආරවුල් සාමකාමීව විසඳාගත යුතුයි. උතුරු ශ්‍රී ලංකාවට රැකියා සහ සමෘද්ධිය අවශ්‍යයි. ශ්‍රී ලංකාවට බලය බෙදීමට සිදුවෙයි. දෙමළ අයිතීන් සඳහා වන අරගලය දිගටම පවතියි, නමුත් ඒ ප්‍රචණ්ඩකාරී නොවන ක්‍රම සමඟයි, ”යැයි ඔහු පැවසීය.

සෝල්හයිම් මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කොළඹදී සාකච්ඡා පවත්වා තිබිණි.