April 24, 2026

වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගෙන ඇමරිකාවට රැගෙන ඒමේ රහස් හමුදා මෙහෙයුම සම්බන්ධ වුණු ඇමෙරිකන් ඩෙල්ටා ෆෝස් සෙබළකු, එම මෙහෙයුම සම්බන්ධයෙන් ඔට්ටු අල්ලා ඇමෙරිකන් ඩොලර් 400,000 ක මුදලක් දිනාගෙන ඇතැයි වාර්තා වේ.

මේ බව අනාවරණය වීමත් සමග ෆෝට් බ්‍රැග් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ගැනොන් කෙන් වැන් ඩයික් නමැති මෙම සෙබළා අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.

ඒ, ඇමෙරිකන් හමුදා රහස් පිටකිරීම සහ රහස් සම්බන්ධයෙන් ඔට්ටු ඇල්ලීම සම්බන්ධයෙනි.

කෙන් වැන් ඩයික් මෙම ඔට්ටු ඇල්ලීම සිදුකර ඇත්තේ, පසුගිය දෙසැම්බරයේය.

ඒ, මෙම ජනවාරිය වනවිට මදුරෝ බලයෙන් නෙරපා දැමෙනවා යැයි අනාවැකි කියමින්, ඇමෙරිකන් ඩොලර් 32,000 ක මුදලක් ඔට්ටු තබමිණි.

පසුව එම ඔට්ටුවෙන් ඔහුට හිමිවුණු මුදල  ඇමෙරිකන් ඩොලර් 400,000 කි.

කෙන් වැන් ඩයික් මෙම ඔට්ටු තැබීම කර ඇත්තේ ඇමෙරිකන් අනාවැකි පළකරන වෙබ් අඩවියක් හරහාය.

ජනාධිපති ට්‍රම්ප්ගේ අණින්, ඩෙල්ටා ෆෝස් සෙබළුන් රාත්‍රියක වෙනිසියුලාවට ගොස් පහර දී, මදුරෝ සහ බිරිඳ බලහත්කාරයෙන් රැගෙන ඇමෙරිකාවට ආවේ මේ වසරේ ජනවාරි දෙවැනිදාය.

ඒ අනුව, කෙන් වැන් ඩයික්ගේ අනාවැකිය නිවැරදි විය.

කෙන් වැන් ඩයික්, ජයග්‍රහණය කළ එම මුදල් විදේශීය ක්‍රිප්ටෝ මුදල් ගිණුමක් හරහා සිය පෞද්ගලික ගිණුමට බැර කර ගැනීමට උත්සාහ ගනිද්දී ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ රහස් තොරතුරු සොරකම් කිරීම, වංචාව සහ අවභාවිතය ඇතුළු අපරාධ චෝදනා පහක් යටතේ කෙන් වැන් ඩයික්ට එරෙහිව නඩු පැවරුණු බවත්, ඉදිරියේ දී ඔහු උතුරු කැරොලිනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.