April 8, 2026

වයස අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය 2027 ජනවාරි 1 වැනිදා සිට තහනම් කරන බව ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis ප්‍රකාශ කළේය.

මාර්ගගත (online) වේදිකාවල ඇති ඇබ්බැහිකරවන ස්වභාවය, දරුවන් තුළ වැඩෙන කාංසාව සහ නින්ද ආශ්‍රිත ගැටලු මෙයට හේතුව ලෙස ඔහු පෙන්වාදුන්නේය.

එරට තරුණ ප්‍රජාව අමතා නිකුත් කර තිබු වීඩියෝ පණිවිඩයකදී මිට්සෝටාකිස් පැවසුවේ, දරුවන් දීර්ඝ වේලාවක් තිර (screens) ඉදිරියේ ගතකිරීම නිසා ඔවුන්ගේ මනසට විවේකයක් නොලැබෙන බවත්, නිරන්තරයෙන් අන් අය සමඟ සැසඳීම් සහ මාර්ගගත විවේචන හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට මුහුණ දෙන බවත්ය.

තම දරුවන්ට නිසි ලෙස නින්ද නොයන බවත්, ඔවුන් පහසුවෙන් කලබලයට පත්වන බවත්, දුරකථන සමඟ දීර්ඝ වේලාවක් ගතකරන බවත් බොහෝ මාපියන් තමන් සමඟ පැවසූ බව ද ග්‍රීක අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද මත විමසුමකට අනුව, සමීක්ෂණයට ලක්වූවන්ගෙන් 80% ක් පමණ මෙම තහනම අනුමත කර ඇත.

ග්‍රීක රජය දැනටමත් පාසල් තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති අතර, යොවුන් දරුවන්ගේ තිර කාලය (screen time) සීමාකිරීම සඳහා මාපිය පාලන මෘදුකාංග හඳුන්වා දී ඇත.

“මෙවැනි පියවරක් ගන්නා ලොව පළමු රටවල් කිහිපය අතරට ග්‍රීසිය ද එක්වෙයි. කෙසේවෙතත්, මෙය අවසාන රට නොවන බව මට විශ්වාසයි. අපගේ අරමුණ යුරෝපා සංගමය ද මෙම දිශාවට යොමුකිරීමයි.” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.

පසුගිය වසරේදී වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට ඕස්ට්‍රේලියාව පත්වීමෙන් පසු, ස්ලෝවේනියාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රියාව සහ ස්පාඤ්ඤය ද මෙවැනිම තහනම් පැනවීමට කටයුතු කරමින් සිටින බව පවසා ඇත.