April 21, 2024

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් කවුද යන්න මැයි මස දෙවැනි සතියේදී හෙළිදරව් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන බව ‘දේශය’ වාර්තා කරයි.

එම වාර්තාවට අනුව මුල් පෙළේ අන්තර්ජාතික සමීක්ෂණ ආයතනයක් විසින් ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව දීපව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵල ඇතුළත් වාර්තාව මැයි මස දෙවැනි සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට නියමිතය.

එම වාර්තා සළකා බලා ජනාධිපතිවරයා සිය අපේක්ෂකත්වය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද ‘දේශය’ වාර්තා කරයි.

එයට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය සහාය පළ කරන අපේක්ෂකයා නම් කරනු ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසා ඇත.

දේශය වාර්තාවට අනුව පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ සිය පක්ෂය සුදුසු ජනාධිපති ධුර අපේක්ෂකයකු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් අතර ඔහු සිය පක්ෂයේ සාමාජිකයකු බවයි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය එම පක්ෂවල නායකයන් දැනටමත් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ප්‍රකාශ කර තිබේ.

තවත් කුඩා පක්ෂ ගණනාවක්ද අපේක්ෂකයන් නම් කර ඇත.