October 29, 2026

වේද ග්‍රන්ථ ඇතුළු පුරාණ හින්දු ආගමික පාඨ උපුටා දක්වමින්, ගවයන් ඝාතනය කිරීමේ වරදට වරදකරුවන් වූ පුද්ගලයන් තිදෙනෙකුට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත.

පිටු හතරකින් යුත් නඩු තීන්දුවේ ආරම්භක කොටසෙන්ම ගවයන්ගේ ආගමික හා සංස්කෘතික වැදගත්කම දීර්ඝ ලෙස දක්වා ඇති අධිකරණය, නඩුවේ කරුණු සමාලෝචනය කිරීම සඳහා එම තොරතුරු පදනම් කරගෙන තිබේ.

පුරාණ ග්‍රන්ථ උපුටා දක්වමින් නඩු තීන්දුවේ සඳහන් වන්නේ ගවයා “විශ්වයේ මෑණියන්” ලෙස පූජනීයත්වයට පත්කර ඇති බවත්, තිස්තුන් කෝටියක් දෙවිවරුන් ගවයා තුළ වැඩවසන බවට විශ්වාස කෙරෙන බවත්ය.

ගවයා සතු මෙම සංස්කෘතික හා ආගමික වැදගත්කම හොඳින්ම දැන සිටියද, විත්තිකරුවන් ගවයන් ඝාතනය කර මස් අලෙවි කිරීමට උත්සාහ කර ඇති බව විනිසුරුවරයා පෙන්වා දී ඇත.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ අහමදාබාද් හි පදිංචිකරුවන් වන වසීම් කුරේෂි, මොහොමඩ් රෆීක් කුරේෂි සහ අස්ෆාක් බහෙලිම් යන තිදෙනාටය. මොවුන් වයස්ගත වූ හෝ කිරි ලබා නොදෙන එළදෙනුන් සහ මී ගවයින් අඩු මිලට ලබාගෙන තම ව්‍යාපාරික කටයුතු සඳහා මෙලෙස ඝාතනය කර ඇත.

“මෙලෙස අනුකම්පා විරහිතව ගවයන් ඝාතනය කරන විත්තිකරුවන්ට නීතියෙන් නියමිත පරිදි දඬුවම් නොදුන්නොත්, කාලයත් සමඟ ගව මාතාවන් මිහිතලයෙන් වඳවී යනු ඇතැයි” අධිකරණය වැඩිදුරටත් පවසා තිබේ.